'දිට්වා' නිසා පීඩාවට පත් ධීවරයින්ට ලබාදෙන සහන ව්‍යාපෘතියේ ප්‍රගතිය ජනපතිගේ නිරීක්ෂණයට
July 21, 2026 06:51 pm
'දිට්වා' ආපදාවෙන් විනාශ වූ ධීවර වරාය ඉදිකිරීම, ජීවනෝපාය මාර්ග යථාවත් කිරීම සහ පීඩාවට පත් ධීවර ජනතාවට බෝට්ටු හා දැල් ආම්පන්න ලබාදීම සඳහා රුපියල් මිලියන 189ක ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘතියේ ප්‍රගතිය ජනාධිපතිවරයාගේ විශේෂ නිරීක්ෂණයට ලක්ව ඇත.
ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ 2027 අයවැය යෝජනා පිළිබඳ සාකච්ඡා කිරීමේ විශේෂ හමුවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
එහිදී අදාළ කරුණු සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
එමෙන්ම "ක්ලීන් ශ්‍රී ලංකා" වැඩසටහන යටතේ භාවිතයෙන් ඉවත් කළ බෝට්ටු සහ අනෙකුත් ෆයිබර් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීමේ වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳවද සාකච්ඡා කර තිබේ.
මෙහිදී අමාත්‍යාංශය යටතේ ඇති ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව (DFAR), ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය (NAQDA), ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය (NARA), ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව (CFHC), ලංකා ධීවර සංස්ථාව (CFC), සීනෝර් පදනම සහ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය ඇතුළු ආයතනවල 2026 වසරේ පුනරාවර්තන සහ ප්‍රාග්ධන වියදම්වල ප්‍රගතිය පිළිබඳව දීර්ඝ ලෙස විමසා බලන ලදී.
මෙරට මත්ස්‍ය නිෂ්පාදනය ඉහළ නැංවීම, අපනයනය වර්ධනය කිරීම, ජනතාවගේ ප්‍රෝටීන් අවශ්‍යතාව තහවුරු කිරීම සහ ධීවර ප්‍රජාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම ඉලක්ක කරගත් වැඩසටහන්හි ප්‍රගතිය සහ 2027 වසරේ සැලසුම් සාකච්ඡාවට ලක්ව ඇත.
මයිලඩි ධීවර වරාය සංවර්ධනය, ගන්දර ධීවර වරාය සංවර්ධනය, රැකව ධීවර නැංගුරම්පොළ ඉදිකිරීම, කරෛයිනගර් බෝට්ටු අංගනය නවීකරණය ඇතුළු ව්‍යාපෘති සහ පර්යේෂණ කටයුතුවල ප්‍රගතිය මෙන්ම 2027 ප්‍රතිපාදන අවශ්‍යතා පිළිබඳවද මෙහිදී අවධානය යොමුව තිබේ.
