කටුවාන ගින්න ගැන පූර්ණ විමර්ශනයක් කරන්නැයි කම්කරු දෙපාර්තමේන්තුවට උපදෙස්

කටුවාන ගින්න ගැන පූර්ණ විමර්ශනයක් කරන්නැයි කම්කරු දෙපාර්තමේන්තුවට උපදෙස්

July 21, 2026   03:55 pm

හෝමාගම, කටුවාන කර්මාන්තපුරයේ පිහිටි කර්මාන්තශාලාවක අද (21) උදෑසන හටගත් ප්‍රබල ගින්න සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදුකර කඩිනමින් වාර්තාවක් ලබාදෙන ලෙස කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

මෙම අවාසනාවන්ත සිදුවීමෙන් පුද්ගලයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇත.

මියගිය සේවකයින්ගේ පවුල් වෙත සිය බලවත් ශෝකය පළකළ නියෝජ්‍ය අමාත්‍යවරයා, තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පවත්වන විමර්ශනවලදී පහත කරුණු කෙරෙහි පුළුල් ලෙස අවධානය යොමු කරන ලෙස නියෝජ්‍ය අමාත්‍යවරයා උපදෙස් දී ඇත.

ගින්න හටගැනීමට බලපෑ ආසන්නතම කරුණු.

කර්මාන්තශාලාවේ ගිනි ආරක්ෂණ හා වෘත්තීය සුරක්ෂිතතා ප්‍රමිතීන් පවත්වාගෙන ගොස් තිබේද යන්න.

සේවකයින්ගේ ආරක්ෂාවට අවශ්‍ය පහසුකම් සහ හදිසි අවස්ථාවලදී ගැලවීමේ  ක්‍රමවේදයන් තිබුණේද යන්න.

කර්මාන්තශාලා ආඥා පනත සහ අදාළ වෘත්තීය සුරක්ෂිතතා නීතිරීතිවලට අනුකූලව කටයුතු කර තිබේද යන්න මෙන්ම, යම් නොසැලකිලිමත් ක්‍රියාමාර්ගයක් සිදුව ඇත්දැයි සොයා බලන ලෙස නියෝජ්‍ය අමාත්‍යවරයා කම්කරු කොමසාරිස් ජනරාල් නදීකා වටලියද්ද මහත්මියට දැනුම් දී තිබේ.

මීට අමතරව, අනතුරුදායක සහ අවදානම් සහිත සේවා ස්ථානවල සේවය කරන ශ්‍රමිකයින්ගේ වෘත්තීය සුරක්ෂිතතාව සහ සෞඛ්‍ය තත්ත්වයන් පිළිබඳවද දිවයින පුරා විශේෂයෙන් සොයා බලන ලෙස නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා වැඩිදුරටත් උපදෙස් ලබා දුන්නේය.