විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීමේ රජයේ ස්ථාවරය ගැන ඇමති නලින්ද කියයි

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීමේ රජයේ ස්ථාවරය ගැන ඇමති නලින්ද කියයි

July 21, 2026   02:45 pm

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව ඉහළ දැමීම තුළින් රජය බලාපොරොත්තු වනුයේ මේ වන විට උසාවිවල ගොඩ ගැසී ඇති නඩු කටයුතු ඉක්මනින් අවසන් කිරීම බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අද (21) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ ඒ තුළින් ජනතාවට අධිකරණය සහ නීතිය සම්බන්ධව විශ්වාසය තහවුරු කිරීමට රජයේ අපේක්ෂාව බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා,

"ඒ ගැන සාකච්ඡාවක් හැමතැනකම පවතිනවා. මීට වසරකට කලින් පාර්ලිමේන්තුවෙත් කමිටුවක් දාලා මේ ගැන යෝජනා අරගෙන තිබුණා. එහිදීත් යෝජනා අරන් තිබුණා විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම සම්බන්ධයෙන්. මේක සමාජයේ පවතින පොදු කතා බහක්. මගේ ක්ෂේත්‍රය ගත්තොත් මම දැක්කා හෙද සංගම් දෙකක් කියලා තියෙනවා හෙද නිලධාරීන්ගේ වයස වැඩි කරන්න ඕනේ කියලා. සමහර පරිපාලන නිලධාරීන්ගේ ඒ පැත්තෙන් ඉල්ලීම් ඇවිත් තියෙනවා. විවිධ ක්ෂේත්‍රවලින් මේ සම්බන්ධව ඉල්ලීම් ඇවිල්ලා තිබෙනවා සංගම් හැටියට, පුද්ගලයින් හැටියට. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන්ව තිබෙනවා මේ නඩු කටයුතු අවසන් කරලා ජනතාවට අධිකරණවලින් වන සේවය ඉහළින්ම ලබා දිය යුතුයි කියන එක. අපිට මේ මොහොතේ කළ හැකි එක කාරණයක් තමයි විනිසුරුවරුන් බඳවා ගැනීමට කටයුතු කිරීම. ඒකට අපි කටයුතු කරමින් පවතිනවා. මේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ සිට අග්‍රවිනිශ්චයකාරයාගේ සිට මහේස්ත්‍රාත් අධිකරණවල විනිසුරුවන් දක්වා වයස වැඩි කිරීම සම්බන්ධව යෝජනාවක් ඇවිත් තිබෙනවා මේකේ අවසාන පරමාර්ථය වෙන්නේ උසාවිවල ගොඩගැහිලා තිබෙන නඩු ඉක්මන් කරලා ජනතාවට පහසුවක්, සහනයක් සැලසීම සහ ජනතාවට අධිකරණය සහ නීතිය සම්බන්ධව තිබෙන විශ්වාස තහවුරු කිරීම."