දිට්වා නිසා හානි වූ සමාජ යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණවල ප්‍රගති සමාලෝචනය කරයි

දිට්වා නිසා හානි වූ සමාජ යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණවල ප්‍රගති සමාලෝචනය කරයි

July 21, 2026   11:17 am

'Rebuilding Sri Lanka' ජනාධිපති කාර්යසාධක බලකාය යටතේ ස්ථාපනය කර ඇති අනුකමිටුව 05වන වරටත් එහි සභාපති, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්ව තිබේ.

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානියට පත් සමාජ යටිතල පහසුකම් නැවත ගොඩනැඟීමේ ප්‍රගතිය පිළිබඳ සාකච්ඡා කෙරෙන මෙම විශේෂ හමුවක් ඊයේ (20) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

එහිදී ප්‍රතිසංස්කරණ කටයුතුවලදී පැන නැඟී ඇති බාධා හා ගැටලු පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

පශ්චාත් ආපදා කාලසීමාව තුළ අධ්‍යාපන, සෞඛ්‍ය, සංස්කෘතික හා පොදු පහසුකම් ප්‍රතිෂ්ඨාපනය කිරීමේ ප්‍රගතිය අධීක්ෂණය කර ප්‍රධාන කමිටුව වෙත වාර්තා කිරීම මෙම අනුකමිටුවේ ප්‍රධාන කාර්යභාරය වේ.

පවතින ගැටලු කඩිනමින් විසඳා ගනිමින්, අවශ්‍ය අවස්ථාවලදී සුදුසු ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට ප්‍රතිපත්ති සම්පාදකයන්ට අවශ්‍ය තොරතුරු ලබාදීම අනුකමිටුවේ වගකීම බව අමාත්‍යවරයා මෙහිදී  පෙන්වා දී තිබේ.

ආපදාවෙන් දැඩි ලෙස හානියට පත් පළාත් කෙරෙහි මෙහිදී වැඩි අවධානයක් යොමු කළ බව සඳහන් වේ.

එක් එක් පළාත්වල යටිතල පහසුකම් ප්‍රතිෂ්ඨාපනය කිරීමේ ප්‍රගතිය පළාත් ප්‍රධාන ලේකම්වරුන් විසින් ඉදිරිපත් කළ අතර, පොදු පහසුකම් නැවත ගොඩනැඟීමේ ප්‍රගතිය පළාත් පාලන කොමසාරිස්වරුන් විසින් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සම්බන්ධ වෙමින් ඉදිරිපත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.