කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී දුම්රියක් පීලි පනී - වේදිකා දෙකක් අවහිරයි

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී දුම්රියක් පීලි පනී - වේදිකා දෙකක් අවහිරයි

July 20, 2026   05:06 pm

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී මීට සුළු මෙහොතකට පෙර දුම්රියක් පීලි පැනීමකට ලක්වීම හේතුවෙන් දුම්රිය ස්ථානයේ වේදිකා දෙකක දුම්රිය ධාවන කටයුතුවලට බාධා එල්ල වී තිබේ.

කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් සවස 04.45 ට රඹුක්කන බලා ධාවනය වීමට නියමිතව තිබූ 1164 දුම්රිය, ප්‍රමාද වී වේදිකාව වෙත ළඟා වීමට උත්සාහ කිරීමේදී සවස 04.35 ට පමණ මෙලෙස පීලි පැනීමට ලක්ව ඇත.

මෙම අනතුරින් දුම්රියේ එක් මැදිරියක රෝද දෙකක් පීලිවලින් ඉවතට පැන ඇති බව වාර්තා වේ.

මීට පෙර පසුගිය 7 වෙනිදා ද මෙම දුම්රියම මේ අයුරින්ම පීලි පැනීමකට ලක්ව ඇති බව වාර්තා වේ.

මෙම පීලි පැනීම හේතුවෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ වේදිකා දෙකක් සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති අතර, දුම්රිය යථා තත්ත්වයට පත් කිරීම සඳහා දුම්රිය බලධාරීන් කටයුතු කරමින් සිටී.

 මෙම තත්ත්වය හේතුවෙන් සවස් කාලයේ ධාවනය වන අනෙකුත් කාර්යාලයීය දුම්රිය කිහිපයක් ද සුළු වශයෙන් ප්‍රමාද විය හැකි බව වාර්තා වේ.