හැටන් මහජන පොළේ උණුසුම් තත්ත්වයක්

හැටන් මහජන පොළේ උණුසුම් තත්ත්වයක්

July 20, 2026   03:58 pm

හැටන් මහජන පොළ භූමියේ පදික වේදිකාව අවහිර කරමින් අනවසර ඉදි කිරිම් සිදුකර වෙළෙදාම්කළ වෙ‍ළෙඳසැල් ඉවත් කිරීමට යෑමේදී හැටන් දික්ඔය නගර සභාවේ නිලධාරීන් සහ වෙ‍ළෙඳසැල් හිමියන් අතර දැඩි උණුසුම් තත්වයක් ඇති වී තිබේ.

හැටන් දික්ඔය නගර සභාව යටතේ පාලනය වන හැටන් මහජන පොළ භූමියේ පදිකයින්ට අවහිර වන සේ වෙ‍ළෙඳසැලෙන් එපිටට රාක්ක ගසා වෙළදාම් සිදුකළ වෙළෙඳුන්ගේ නව ඉදිකිරීම් ඉවත් කිරීමට යෑමේදි අද (20) හැටන් දික්ඔය නගර සභාවේ නිලධාරින් සහ වෙළෙඳුන් අතර දැඩි උණුසුම් තත්වයක් ඇති වී තිබේ.

හැටන් දික්ඔය නගර සභාවේ ආදායම් පරිපාලක ඇතුලු නිලධාරීන් එම වෙළෙඳුන්ට අනවසර ඉදිකිරිම් ඉවත්කරන ලෙසට මීට පෙර දැනුම්දී ඇත.

නමුත්, ඔවුන් එය නොතකා පදික වේදිකාව අවහිරවන සේ  වෙළෙදාම් කිරීම හේතුවෙන් හැටන් දික්ඔය නගර සභාවේ නිලධාරීන් අද එම අනවසර ඉදිකිරීම් ඉවත්කරමින් සිටියදී එම මහජන පොළ භූමියේ වෙළෙඳුන් හැටන් දික්ඔය නගර සභාවේ විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහයෝගයද ලබාගෙන එම අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට විරෝධය දක්වා තිබේ.

එම වෙළෙඳුන් කියා සිටින්නේ, හැටන් නගරයේම එවැනි අනවසර ඉදිකිරීම් ඉවත් කරන ලෙසත්, එක්තරා ව්‍යාපාරික කොටසක් පමණක් ඉලක්කකර ගනිමින් අනවසර ඉදිකිරිම් ඉවත්කිරීම යුක්ති සහගත නොවන බවයි.

මේ අතර, මහජන පොළ භූමියේ ඇතැම්  වෙළෙඳුන්ගේ සහ නගර සභාවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ විරෝධය හමුවේ හැටන් දික්ඔය නගර සභාවේ නිලධාරීන් වෙළෙඳසැල් කිහිපයක ඉදිකර තිබූ අනවසර ඉදිකිරීම් ඉවත් කර ඇත.