දරුවන් දෙදෙනෙකුට පිය සෙනෙහස අහිමිකළ මාරක අනතුර
July 20, 2026 01:23 pm
ආණමඩුව නගරයට ආසන්න පරමාකන්ද මංසන්ධිය ප්‍රදේශයේදී ලංගම බස් රථයක ගැටීමෙන් යුද හමුදා කෝප්රල්වරයෙකු අද (20) උදෑසන ජීවිතක්ෂයට පත්ව තිබේ.
මියගොස් ඇත්තේ ආණමඩුව, ඌරියාව ප්‍රදේශයේ පදිංචිව සිටි 38 හැවිරිදි දුමින්ද සඳරුවන් වික්‍රමආරච්චි නමැති දෙදරු පියෙකි.
පොලිසිය සඳහන් කළේ, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පැවති දීර්ඝ හමුදා පුහුණුවකින් අනතුරුව ඊයේ (19) නිවසට පැමිණ ඇති ඔහු අද යළි සේවයට යාමට නියමිතව සිට ඇති බවයි.
අද උදෑසන සිය දියණියන් දෙදෙනා ආණමඩුව කන්නන්ගර ආදර්ශ මහා විද්‍යාලයට යතුරුපැදියෙන් ඇරලවා ආපසු නිවස බලා යමින් සිටියදී ඔහු මෙම අනතුරට මුහුණපා තිබේ.
එම අවස්ථාවේදී පුත්තලම සිට කුරුණෑගල බලා ධාවනය වෙමින් තිබූ පුත්තලම ලංගම ඩිපෝවට අයත් බස් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව යතුරුපැදියේ ගමන් කරමින් සිටි කෝප්‍රල්වරයාගේ ගැටී ඇති බව සඳහන් වේ.
අනතුරින් පසු බස් රථය මීටර් 100කට ආසන්න දුරක් ඉදිරියට ඇදී ගොස් නතර වී ඇති බව පොලිසිය පවසයි.
අනතුරින් යතුරුපැදිය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර, කෝප්‍රල්වරයා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබේ.
මියගිය කෝප්‍රල්වරයාගේ එක් දියණියක් මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිතව සිටින බවද වාර්තා වේ.
අනතුර සිදුවූ ස්ථානය සහ ඒ අවට ප්‍රදේශය නිරන්තරයෙන් මාරක රිය අනතුරු සිදුවන ප්‍රදේශයක් බව පොලිසිය සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් ආණමඩුව පොලිසියේ රථවාහන අංශය වැඩිදුර විමර්ශන සිදුකරන අතර, ලංගම බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.
