AI නීති සම්පාදනය වන වේදිකාවන්හි අප වැනි රටවලටත් ඉඩක් අවශ්‍යයි - නියෝජ්‍ය ඇමති එරංග වීරරත්න
July 20, 2026 12:22 pm
කෘත්‍රිම බුද්ධි තාක්ෂණය සම්බන්ධ ගෝලීය පාලන රාමුව සකස් කිරීමේදී සංවර්ධනය වෙමින් පවතින රටවල හඬට ද සමාන අවස්ථාවක් හිමිවිය යුතු බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතා පවසයි.
චීනයේ ෂැන්හයි නුවර පැවැත්වෙන 2026 ලෝක කෘත්‍රිම බුද්ධි සමුළුවට (WAIC) සමගාමීව පැවති “දීප්තිමත් අනාගතයක් සඳහා AI හවුල්කාරිත්වය” යන තේමාව යටතේ පැවති රාජ්‍ය තාන්ත්‍රික සමුළුව අමතමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
AI තාක්ෂණය මේ වනවිට ලොව පුරා රාජ්‍ය සේවා සහ ආර්ථිකයන් කෙරෙහි බලපෑම් කරමින් පවතින බැවින්, එහි ගෝලීය පාලන නීති සම්පාදනයේදී සංවර්ධනය වෙමින් පවතින රටවලට ද තීරණ ගැනීමේ ක්‍රියාවලියේ සමාන අවස්ථාවක් හිමිවිය යුතු බව ඔහු පෙන්වා දුන්නේය.
ගෝලීය AI පාලනය සකස් කළ යුත්තේ දකුණු අර්ධගෝලයේ රටවල් ද තීරණ ගැනීමේ මේසය වටා වාඩි කරවා ගනිමින් මිස, තීරණ ගැනීමෙන් පසුව ඔවුන්ව දැනුවත් කිරීමෙන් නොවන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
වගකීම්සහගත AI භාවිතයක් සඳහා පසුගිය වසර දෙක තුළ ශ්‍රී ලංකාව DIGIECON 2030 ජාතික ඩිජිටල් ආර්ථික වැඩසටහන ඔස්සේ ශක්තිමත් ඩිජිටල් පදනමක් සහ ස්වෛරී ඩිජිටල් යටිතල පහසුකම් සකස් කර ඇති බවද ඔහු පැවසීය.
ආරක්ෂිත AI සේවාවන් සඳහා පදනමක් වන ශ්‍රී ලංකා අනන්‍ය ඩිජිටල් අනන්‍යතා (SLUDI) වේදිකාව ස්ථාපිත කර ඇති බවත්, නුදුරේදී පිහිටුවීමට නියමිත ජාතික AI ආයතනය හරහා AI පර්යේෂණ, ආචාරධර්ම සහ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් දේශීය ධාරිතාව වර්ධනය කිරීමට කටයුතු කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
එමෙන්ම, රටවලට ගෝලීය වශයෙන් අන්තර්ක්‍රියාකාරී AI පද්ධති සමඟ සම්බන්ධ වීමට හැකි අතරම, තම දත්ත සහ ඩිජිටල් යටිතල පහසුකම් පාලනය කිරීමේ අයිතිය ද රටවල් සතු විය යුතු බව ඔහු අවධාරණය කළේය.
AI ආරක්ෂාව පිළිබඳ ගෝලීය නීති අර්ථවත් වීමට නම්, සංවර්ධනය වෙමින් පවතින රටවලට එම නීති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය තාක්ෂණික ධාරිතාව ලබාදිය යුතු බවද නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පැවසීය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ උපදේශක සුමුදු රත්නායක මහතා ඇතුළු කලාපීය රටවල රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයින් පිරිසක් එක්ව සිටියහ.
