ගත වූ පැය 24ට අනතුරුවලින් 6දෙනෙකු මියගිහින්

ගත වූ පැය 24ට අනතුරුවලින් 6දෙනෙකු මියගිහින්

July 20, 2026   11:14 am

දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු වූ අනතුරුවලින් පුද්ගලයින් කිහිපදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මාතර, තංගල්ල මාර්ගයේ රස්සන්දෙනිය ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මාතර දෙස සිට දෙවිනුවර දෙසට ධාවනය වූ ඩිෆෙන්ඩර් රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.  

අනතුරින් ඩිෆෙන්ඩර් රථයේ රියැදුරු ඇතුළු එහි ගමන් ගත් 06දෙනෙකු තුවාල ලබා මාතර රෝහලට ඇතුලත් කිරීමෙන් පසු පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 33 හා 36ක් වන මාතර ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

ලොරි රථයේ හා කාර් රථයේ රියැදුරන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර මාතර පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.

එමෙන්ම බම්බලපිටිය දුම්රිය ස්ථානය ආසන්න ප්‍රදේශයේදී අළුත්ගම සිට මරදාන දක්වා ධාවනය වූ දුම්රියක ගැටී පුද්ගලයෙකු මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 34ක් වූ පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බම්බලපිටිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.

මේ අතර එරාවූර් දෙස සිට පුන්නකුඩා දෙසට ධාවනය වූ ලොරි රථයක් එම දෙසටම ගමන්ගත් පාපැදියක ගැටී අනතුරක් සිදුව ඇත. 

අනතුරින් බරපතළ තුවාල ලැබූ පාපැදිකරු මඩකලපුව රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිට ඇති බව පොලීසිය පැවසීය.

මෙලෙස මියගොස් ඇත්තේ 31 හැවිරිදි කලවායි ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

කෙසේවෙතත් අනතුරින් පසු ලොරි රථය නොනවත්වා පලාගොස් ඇති අතර එරාවුර් පොලිසියේ නිලධාරින් විසින් සැකකරු හා ලොරි රථය අත්අඩංගුවට ගෙන ඇත. 

එරාවූර් පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

මහරගම, හයිලෙවල් මාර්ගයේ රෝලන්ස් හන්දිය ආසන්නයේදී සිදු වූ අනතුරකින් ද 62 හැවිරිදි හොරණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු මියගොස් තිබේ.

කොට්ටාව දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ යතුරු පැදියක් ඊට ප්‍රථිවිරුද්ධ දෙසින් පැමිණි බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. 

අනතුරින් එම යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු මියගොස් තිබේ.

බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මහරගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.

කුලියාපිටිය හෙට්ටිපොල මාර්ගයේ, කුඹුරාපොල ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් ද පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

හෙට්ටිපොල දෙස සිට කුලියාපිටිය දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන විදුලි රැහැන් කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. 

අනතුරින් යතුරුපැදිකරු හා පසුපැදිකරු තුවාල ලබා කුලියාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර එහි ප්‍රතිකාර ලබමින් සිටිය දී යතුරුපැදිකරු මෙලෙස මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 29ක් වූ කුරුවිට ප්‍රදේශයේ පදිංචි සිටි අයෙකු බව සඳහන්.

කුලියාපිටිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.