මාතර ඩිෆෙන්ඩර් අනතුරින් තවත් අයෙක් මරුට - තවත් දෙදෙනෙකුට බරපතළයි

මාතර ඩිෆෙන්ඩර් අනතුරින් තවත් අයෙක් මරුට - තවත් දෙදෙනෙකුට බරපතළයි

July 19, 2026   10:45 pm

තංගල්ල - මාතර ප්‍රධාන මාර්ගයේ වැල්ලමඩම ප්‍රදේශයේදී අද (19) පස්වරුවේ සිදුවූ දරුණු මාරක රිය අනතුරෙන් තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අද පස්වරු 03.50 ට පමණ මෙම අනතුර සිදුව ඇත්තේ මාතර දෙස සිට තංගල්ල දෙසට ධාවනය වෙමින් තිබූ ඩිෆෙන්ඩර්  ජීප් රථයක්, ප්‍රතිවිරුද්ධ දෙසින් එනම් තංගල්ල දෙස සිට මාතර දෙසට සිමෙන්ති පටවා ධාවනය වෙමින් තිබූ ලොරි රථයක මුහුණට මුහුණ ගැටීමෙනි.

අනතුර සිදුවන අවස්ථාවේදී ඩිෆෙන්ඩර් රථය තුළ පුද්ගලයන් පස්දෙනෙකු ගමන් කර ඇති අතර, ලොරි රථය තුළ රියදුරු සහ සහායකයා ඇතුළු දෙදෙනෙකු ‍ගමන් කර ඇත. 

අනතුරින් ඩිෆෙන්ඩර් රථයේ ගමන් ගත් සියලුම දෙනා සහ ලොරි රථයේ සිටි දෙදෙනා ඇතුළුව හත්දෙනෙකු තුවාල ලැබූ අතර, මේ වන විට ඔවුන් අතරින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මියගිය දෙදෙනාගෙන් එක් අයෙක් ඩිෆෙන්ඩර් රථයේ රියදුරු වූ මාතර වැවහමන්දුව ප්‍ර දේශයේ පදිංචිව සිටි 37 හැවිරිදි වෙදමුල්ල කංකානම්ගේ දිනේෂ් උදයංග නම් අයෙකි.

අනෙක් පුද්ගලයා එහි ගමන් කළ 36 හැවිරිදි මාතර හිත්තැටිය මැද ප්‍රදේශයේ පදිංචිව සිටි එස්.එම්.වී. සුභාෂ් යන අයයි.

මේ අතර තුවාල ලැබූවන් අතුරින් තවත් දෙදෙනෙකුගේ තත්ත්වය තවමත් බරපතළ මට්ටමක පවතින බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

පොලිස් මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අනතුරට පත් ඩිෆෙන්ඩර් රථය මෙම තරුණයින් පිරිස විසින් එක් දිනක් සඳහා කුලී පදනම මත ලබාගෙන ධාවනය කරන ලද්දක් බවයි.

අනතුරින් ඩිෆෙන්ඩර් රථයට සේම ලොරි රථයට ද දැඩි ලෙස අලාභහානි සිදුව ඇති අතර මාතර පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.