ජුලි මාසයේ ගෙවුණු දින 15ට සංචාරකයින් 90,122ක් මෙරටට ඇවිත්

ජුලි මාසයේ ගෙවුණු දින 15ට සංචාරකයින් 90,122ක් මෙරටට ඇවිත්

July 19, 2026   02:58 pm

ජුලි මාසයේ මුල් දින 15 තුළදී ශ්‍රී ලංකාවට සංචාරකයින් 90,122ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

නිකුත් කළ නවතම දත්ත අනුව, එම කාලය තුළ ඉන්දියාවෙන් සංචාරකයින් 20,480ක් පැමිණ ඇති අතර, එය සමස්තයේ 23%ක් වේ.

එමෙන්ම, චීනයෙන් 5,494ක්, එක්සත් රාජධානියෙන් 9,277ක්  සහ ඔස්ට්‍රේලියාවෙන් 5,487ක් ද මෙම කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

තවද, 2026 ජනවාරි 01 සිට ජුලි 15 දක්වා සමස්ත සංචාරක පැමිණීම් සංඛ්‍යාව 1,236,695ක් ලෙස වාර්තා වී තිබේ.

ඒ අතරින් ඉන්දියාවෙන් 314,163ක් සහ එක්සත් රාජධානියෙන් 117,844ක් සංචාරකයින් පැමිණ ඇති බවද එම අධිකාරිය සඳහන් කළේය.

මේ අතර මේ වසරේ ජනවාරි සිට ජුනි මාසය දක්වා වූ කාලය තුළ සංචාරක ආදායමෙන් මෙරට උපයාගෙන ඇති මුදල රුපියල් බිලියන 475.6කි.

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කර ඇති වාර්තාවක් මගින් මේ බව සඳහන් කර ඇති අතර එමගින් මහ බැංකුව පෙන්වා දී ඇත්තේ පසුගිය ජුනි මාසයේදී සංචාරක ආදායමෙන් රුපියල් බිලියන 50.5ක්ද උපයා ගෙන ඇති බවය.