හංගේරියාවේ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණයක්
July 19, 2026 02:53 pm
හංගේරියාවේ ජනාධිපති ටාමාස් සුල්යොක් (Tamás Sulyok) අද (19) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට එකඟ වී තිබේ.
ඒ සඳහා වන ව්‍යවස්ථා සංශෝධනයකට ඔහු අත්සන් තබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
වසර 16ක් බලයේ සිටි හිටපු අගමැති වික්ටර් ඕර්බන් (Viktor Orbán) පසුගිය අප්‍රේල් මාසයේ පැවැති මැතිවරණයෙන් පරාජයට පත් විය.
නව අගමැති පීටර් මාග්යෝර් ගේ 'තිස්සා' (Tisza) පක්ෂය, හිටපු අගමැතිවරයාට හිතවත් ජනාධිපතිවරයාව ධුරයෙන් ඉවත් කිරීම සඳහා පාර්ලිමේන්තුව හරහා නව ව්‍යවස්ථා සංශෝධනයක් සම්මත කරගත්තේය.
අකමැත්තෙන් වුවද මෙම තීරණයට එකඟ වූ ජනාධිපති සුල්යොක්, නව රජය විසින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්‍යය උල්ලංඝනය කරමින් සිටින බවට චෝදනා කළේය.
හුදෙක් දේශපාලන බලය ලබාගැනීම වෙනුවෙන් නිදහස් සමාජයක මූලික වටිනාකම් පෑගීමට ලක් කර ඇති බව ඔහු පැවසීය.
