අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 6ක් හෙරොයින් කිලෝ 2ක් සහ මත්පෙති තොගයක් සමග අයෙකු අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 6ක් හෙරොයින් කිලෝ 2ක් සහ මත්පෙති තොගයක් සමග අයෙකු අත්අඩංගුවට

July 19, 2026   06:43 am

කිරිබත්ගොඩ පොලිස් වසමේ දික්පිටිගොඩ ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය, හෙරොයින් මෙන්ම මත්පෙති තොගයක් සමග අයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඊයේ (18) සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී සැකකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 6 ග්‍රෑම් 96ක්, හෙරොයින් කිලෝග්‍රෑම් 02 ග්‍රෑම් 70ක් හා මත්පෙති 5,000ක් ද නිලධාරීන් විසින් සොයා ගනු ලැබීය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 31ක් වූ දික්පිටිගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මේ අතර ඊයේ දිනයේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 18ක් සමගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගැනුණු සැකකරු සම්බන්ධව තොරතුරු රැසක් පොලීසිය මේ වන විට අනාවරණය කරගෙන තිබේ.

එහිදී සැකකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 18 ග්‍රෑම් 716ක් මෙන්ම විද්‍යුත් තරාදියක් ද පොලිස් භාරයට ගැනුණි.

මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ අවුරුදු 26ක් වූ පානදුර අළුබෝමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ මත්ද්‍රව්‍ය තොගය සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකුගේ මෙහෙයවීම මත දිවයිනේ විවිධ ප්‍රදේශවලට බෙදා හැරීම හා ජාවාරම් කිරීම සඳහා රැගෙන විත් ඇති බවය.

ඒ අනුව සැකකරුව අද (19) දින පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර දින 07ක රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිත බවද පොලීසිය සඳහන් කළේය.