SLS සහතිකය නොමැති සනීපාරක්ෂක තුවා අලෙවිය ඔක්තෝබර් 8 සිට තහනම්
July 16, 2026 10:35 pm
SLS භාණ්ඩ සහතික ලාංඡනය නොමැති දේශීයව නිෂ්පාදනය කරන සනීපාරක්ෂක තුවා නිෂ්පාදනය, ඇසිරීම, බෙදාහැරීම, ප්රවාහනය, ගබඩා කිරීම සහ අලෙවිය 2026 ඔක්තෝබර් 8 වැනිදා සිට තහනම් වන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිවේදනය කර තිබේ.
2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 12(2) වැනි වගන්තිය යටතේ මෙම විධානය නිකුත් කර ඇති අතර, ශ්රී ලංකා ප්රමිති ආයතනය විසින් නිකුත් කරන SLS භාණ්ඩ සහතික ලාංඡනය දරන්නේ නම් පමණක් එම නිෂ්පාදන වෙළෙඳපොළට නිකුත් කළ හැකි බව ද සඳහන් කර ඇත.
මෙම නියෝගය එක්වරක් පමණක් භාවිත කළ හැකි සනීපාරක්ෂක තුවා (SLS 1732) සහ එක්වරක් පමණක් භාවිත කළ හැකි සිහින් සනීපාරක්ෂක තුවා (SLS 1748) සඳහා අදාළ වේ.
එමෙන්ම, ආනයනය කරන සනීපාරක්ෂක තුවාද ශ්රී ලංකා ප්රමිති ආයතනය විසින් ක්රියාත්මක කරන ආනයන ප්රමිතිකරණ හා තත්ත්ව පාලන පරීක්ෂණ ක්රමවේදය යටතේ පරීක්ෂා කර අනුමත කර නොමැති නම්, ඒවා ආනයනය කිරීම, බෙදාහැරීම, ගබඩා කිරීම හෝ අලෙවි කිරීම ද තහනම් වන බව අධිකාරිය සඳහන් කළේය.
ශ්රී ලංකා ප්රමිති ආයතනය විසින් අදාළ ප්රමිතීන්ට ඉදිරියේදී සිදුකරන සියලු සංශෝධන සඳහා ද මෙම විධානය බලපැවැත්වෙන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් දැනුම් දී ඇත.
