පුද්ගලික රෝහල් සහ වෛද්‍ය රසායනාගාර ඉලක්ක කර දිවයින පුරා විශේෂ වැටලීම් 52ක්

පුද්ගලික රෝහල් සහ වෛද්‍ය රසායනාගාර ඉලක්ක කර දිවයින පුරා විශේෂ වැටලීම් 52ක්

July 16, 2026   09:07 pm

පුද්ගලික රෝහල් සහ වෛද්‍ය රසායනාගාර ඉලක්ක කර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දිවයින පුරා සිදුකළ විශේෂ වැටලීම්වලදී භාවිතයට නුසුදුසු සහ කල් ඉකුත් වූ වෛද්‍ය රසායනාගාර ද්‍රව්‍ය රැසක් සොයාගෙන තිබේ.

පාරිභෝගික ජනතාවගේ සෞඛ්‍යය හා ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ක්‍රියාත්මක කළ මෙම විශේෂ මෙහෙයුමේදී වැටලීම් 52ක් සිදුකර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිවේදනය කළේය.

විමර්ශනවලදී දිවයිනේ ප්‍රධාන පෙළේ පුද්ගලික රෝහල් සහ වෛද්‍ය රසායනාගාර ඇතුළු ආයතන රැසක් පරීක්ෂාවට ලක් කර ඇති අතර, රෝගීන්ගේ පරීක්ෂණ සහ ප්‍රතිකාර සඳහා භාවිත කරන ඇතැම් රසායනාගාර ද්‍රව්‍ය හා උපකරණ කල් ඉකුත්වීම හේතුවෙන් භාවිතයට නුසුදුසු තත්ත්වයේ පැවතීම, ගුණාත්මකභාවය පිළිබඳ ගැටලු පැවතීම සහ භාවිතයට ගන්නා ද්‍රව්‍ය සමඟ කල් ඉකුත් වූ ද්‍රව්‍ය එකම ස්ථානයේ ගබඩා කර තිබීම ඇතුළු බරපතළ අනනුකූලතා රැසක් අනාවරණය වී තිබේ.

වැටලීම්වලදී රුධිරයේ සීනි මට්ටම පරීක්ෂා කිරීම සඳහා භාවිත කරන මෙවලම් කට්ටල, විවිධ රසායනාගාර රසායනික ද්‍රව්‍ය, ඩෙංගු රෝග විනිශ්චය සඳහා භාවිත කරන පරීක්ෂණ කට්ටල, හෘද රෝගීන් සඳහා භාවිත කරන ජෙල් වර්ග, වෛද්‍ය පරීක්ෂණ සඳහා යොදාගන්නා රසායනාගාර ද්‍රව්‍ය සහ වර්ණක ද්‍රාවණ ඇතුළු උපකරණ රැසක් භාවිතයට නුසුදුසු තත්ත්වයේ පවතින බව අනාවරණය වී ඇත.

එම ද්‍රව්‍ය විමර්ශන නිලධාරීන් භාරයට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.

අනාවරණය වූ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් අදාළ ආයතනවලට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත යටතේ නීතිමය පියවර ගැනීමට නියමිත බව අධිකාරිය සඳහන් කළේය.

පාරිභෝගිකයන්ගේ ජීවිත හා සෞඛ්‍යයට අවදානමක් ඇති කළ හැකි මෙවැනි ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් කිසිදු සහනයක් ලබා නොදෙන බවත්, දිවයින පුරා මෙවැනි විශේෂ වැටලීම් සහ විමර්ශන අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් දැනුම් දී ඇත.