නීතිවිරෝධී ධීවර කටයුතුවල නිරත වූ 28දෙනෙකු නාවික හමුදා භාරයට
July 16, 2026 05:37 pm
දේශීය ජල තීරය ආවරණය වන පරිදි නාවික හමුදාව විසින් සිදුකළ විශේෂ මෙහෙයුමක දී නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයන් 28දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ජූලි 01වනදා සිට ඊයේ (15) දිනය දක්වා ක්‍රියාත්මක වූ මෙම මෙහෙයුම්වලදී අදාළ සැකකරුවන් සමඟ ඩිංගි යාත්‍රා 12ක්, ට්‍රැක්ටර් රථ 4ක් සහ වෑන් රථයක් ද නාවික හමුදා විසින් සිය භාරයට ගෙන තිබේ.
ත්‍රිකුණාමලය මාවඩි ඕඩි, කදිරවේලි, නයාරු, බ්ලැක් පොයින්ට්, යාපනය වෙත්තලකේණි සහ කඩ්ඩයිකාඩු යන මුහුදු සහ වෙරළ තීරයන් කේන්ද්‍ර කරගනිමින් මෙම වැටලීම් සිදුකර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන්, ධීවර යාත්‍රා, වෑන් රථය සහ තහනම් ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා මුලතිව්, යාපනය, කොඩ්බේ සහ වාලච්චේනයි යන ප්‍රදේශයන්හි පිහිටි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාල වෙත මෙන්ම මරදන්කේනි පොලිසිය වෙත ද භාරදීමට නාවික හමුදාව පියවර ගෙන තිබේ.
