රට රැකියා සිහිනය පෙන්වා මුදල් වංචාකළ දෙදෙනෙකු අත්අඩංගුවට

රට රැකියා සිහිනය පෙන්වා මුදල් වංචාකළ දෙදෙනෙකු අත්අඩංගුවට

July 16, 2026   03:36 pm

කැනඩා සහ ලක්සම්බර්ග් යන රටවල විදේශ රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයන් පස්දෙනෙකුගෙන් රුපියල් ලක්ෂ 80කට ආසන්න මුදලක් වංචා කළ බව කියන සැකකරුවෙකු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු පෙරේදා (14) වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු කොළොන්නාව ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි ෆායිස් මොහොමඩ් නෆ්ටිකාර් නමැත්තෙකි.

විමර්ශනවලට අනුව, සැකකරු යාපනය මල්ලක්කම් ප්‍රදේශයේ පදිංචිකරුවන් පස්දෙනෙකුට කැනඩා සහ ලක්සම්බර්ග් රටවල රැකියා ලබාදෙන බවට පොරොන්දු වී රුපියල් ලක්ෂ 80ක පමණ මුදලක් ලබාගෙන තිබේ.

සැකකරු ඊයේ (15) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමටත්, පැමිණිලිකරුට රුපියල් ලක්ෂයක මුදලක් ගෙවීමටත් අධිකරණය නියෝග කළේය. මීට අමතරව, සැකකරුට එරෙහිව මල්ලක්කම් පොලිස් ස්ථානයටද පැමිණිලි ලැබී ඇති බව විමර්ශන අංශ සඳහන් කරයි.

මේ අතර, ජපානයේ රැකියාවක් ලබාදෙන බව පවසා තම මිතුරෙකුගෙන් රුපියල් ලක්ෂ 6ක් වංචා කළ බව කියන තවත් සැකකරුවෙකුද විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ගම්පහ දිස්ත්‍රික්කයේ ඉහළ ඉඹුල්ගොඩ ප්‍රදේශයේ "ජපන් මාර්ට්" නමින් ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය මෙම සැකකරු, විදේශ රැකියා සඳහා යොමු කිරීමේ නීත්‍යානුකූල බලපත්‍රයක් නොමැතිව ජපානයේ රැකියාවක් ලබාදෙන බව පවසා තම මිතුරාගෙන් මුදල් ලබාගෙන ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ඔහු මුලින් රුපියල් ලක්ෂ 28ක් අවශ්‍ය බව පවසා ඇති අතර, ඒ අනුව පැමිණිලිකරු සැකකරුගේ ගිණුමට රුපියල් ලක්ෂයක මුදලක් සහ ඔහුගේ බිරිඳගේ ගිණුමට රුපියල් ලක්ෂ පහක මුදලක් බැර කර තිබේ.

සැකකරු පසුගිය 14 වැනිදා අත්අඩංගුවට ගෙන 15 වැනිදා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර, වංචා කළ සම්පූර්ණ මුදල පැමිණිලිකරුට ආපසු ගෙවීමෙන් පසු රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපයක් මත මුදාහැරීමට අධිකරණය නියෝග කළේය.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, විදේශ රැකියා සඳහා මුදල් ගෙවීමට පෙර අදාළ ආයතනය හෝ පුද්ගලයා නීත්‍යානුකූල බලපත්‍රයක් සහිතද යන්න තහවුරු කරගන්නා ලෙසයි.