පක්ෂ 6ක එකතුව විපක්ෂය බෙදීයෑමේ පෙරනිමිත්තක්ද ?

පක්ෂ 6ක එකතුව විපක්ෂය බෙදීයෑමේ පෙරනිමිත්තක්ද ?

July 16, 2026   11:27 am

සමගි ජන සන්ධානය තුළ කටයුතු කළ ද්‍රවිඩ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ 6ක් පොදු වේදිකාවක් හරහා සිය ගැටලු රජයට ඉදිරිපත් කිරීමට තීරණය කිරීම ඉදිරියේදී විපක්ෂයට බරපතළ තර්ජනයක් ඇති කරන්නක් බව දේශපාලන විචාරකයින් පවසයි.

පවතින තත්ත්වය තුළ එළඹෙන පළාත් සභා මැතිවරණයකදී ප්‍රධාන විපක්ෂය තවදුරටත් බෙදී යනු ඇති බව සඳහන් වෙයි.

ප්‍රමාදයකින් තොරව පළාත් සභා මැතිවරණය පවත්වන ලෙසට රජයට බල කරමින් ද්‍රවිඩ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ පසුගියදා පොදු වේදිකාවක් සකස් කරගනිමින් රජයට බලපෑමක් සිදු කළේය.

සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය, ලංකා කම්කරු කොංග්‍රසය, ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය, ඉලංකෙයි තමිල් අරුසු කච්චි, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ දෙමළ ප්‍රගතිශීලි සන්ධානය යන පක්ෂවල නියෝජිතයින් මෙලෙස සන්ධානගතව කටයුතු කිරීමට තීරණය කර ඇත.

කෙසේවෙතත් එම දේශපාලන පක්ෂ නියෝජිතයින් පෙන්වා දෙන්නේ තමන් මේ දක්වාත් සමගි ජන සන්ධානයෙන් ඉවත්වී නොමැති බවය.

එමෙන්ම ආණ්ඩුවට බලපෑම් කිරීමට පමණක් මෙලෙස සන්ධානගතව කටයුතු කරන බව පෙන්වාදෙන එම නියෝජිතයින් ආණ්ඩුව තම පාර්ශ්වයෙන් යම් සහයෝගයක් ඉල්ලා සිටින්නේ නම් එය සලකාබැලිය හැකි බවද ඔවුන් සඳහන් කරයි.

ආණ්ඩුවට පාර්ලිමේන්තුව තුළ මේ වනවිට යම් බලයක් පවතින අතර ඊට එරෙහිවීමට හෝ එය අබිබවා යෑමට සූදානම් නොමැති බවටද ඔවුන් පැවසීය.

තම ඉල්ලීම් සහ අවශ්‍යතා සම්බන්ධයෙන් දිගින් දිගටම සමගි ජන සන්ධානය හමුවේ ඉල්ලීම් ඉදිරිපත් කළද ඊට නිසි ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් මෙම තීරණය ගත් බවද එම දේශපාලන නියෝජිතයින් සඳහන් කරයි.

කෙසේවෙතත් ද්‍රවිඩ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ නියෝජිතයින් පසුගියදා එක්වූ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.
ඒ. සුමන්තිරන් මහතා සඳහන් කළේ බලයට පත්වීමෙන් වසරක් ඇතුළත පළාත් සභා මැතිවරණය පවත්වන බවට ජාතික ජන බලවේග ආණ්ඩුව ප්‍රතිඥා දී තිබුණද මේ දක්වා ඊට අවශ්‍ය කටයුතු කිරීමට ඔවුන් පියවර ගෙන නොමැති බවය.

සංහිඳියාව, ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සහ මෙරට සියලු ප්‍රජාවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, ප්‍රවර්ධනය කිරීම සඳහා පොදු වේදිකාවක් මත සාකච්ඡා අඛණ්ඩව සිදුකරගෙන යෑමට තම පක්ෂවල කැපවීම යළිත් තහවුරු කර ඇති බවද හිටපු මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළේය.