ඩෙංගු අවදානම අගෝස්තු මැද දක්වා පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්

ඩෙංගු අවදානම අගෝස්තු මැද දක්වා පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්

July 16, 2026   09:34 am

පවතින කාලගුණික තත්ත්වයත් සමඟ එළැඹෙන අගෝස්තු මාසයේ මැද භාගය දක්වා ඩෙංගු රෝග ව්‍යාප්තියේ ඉහළ අවදානම් තත්ත්වයක් පැවතිය හැකි බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.

එබැවින් රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අංශ දියත් කරන මර්ධන වැඩසටහන්වලට උපරිම සහාය දක්වන ලෙසත්, තමන් ජීවත් වන නිවෙස්, පාසල් සහ සේවා ස්ථාන අවට පරිශ්‍රයන් මදුරුවන් බෝ නොවන පරිදි පිරිසිදුව තබා ගැනීමට වගබලා ගන්නා ලෙසත් සෞඛ්‍ය අමාත්‍යවරයා මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

එහිදී අමාත්‍යවරයා පැවසුවේ මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කයේ රෝගී වර්තාවීම ඉහළ ගොස් ඇති බවය.

මේ අතර දිවයින පුරා පවතින ඩෙංගු අවදානම සැලකිල්ලට ගනිමින් දිස්ත්‍රික් 11ක් ඉලක්ක කර ගනිමින් අද (16) සිට විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් ආරම්භ කරන බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසයි.

ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර මහතා සඳහන් කළේ, අද සිට ඉදිරි සති දෙකක කාලයක් පුරා අදාළ දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් මෙම විශේෂ මර්ධන වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි.

ඩෙංගු ව්‍යාප්තිය බහුලව වාර්තා වන කලාප හඳුනාගෙන, මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම සහ ජනතාව දැනුවත් කිරීම මෙහි ප්‍රධාන අරමුණ වී තිබේ.