'දිට්වා' ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

'දිට්වා' ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026   08:20 am

"දිට්වා" සුළි කුණාටුව හේතුවෙන් සිදුවන හානි අවම කිරීම සඳහා රජය පූර්ව සැලසුම් ක්‍රියාත්මක නොකිරීම තුළින් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන ඔක්තෝබර් 30 වනදා කරුණු සලකා බැලීම සඳහා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

මහනුවර ප්‍රදේශයේ නීතිඥවරයෙකු විසින් ඉදිරිපත් කරන ලද මෙම පෙත්සම, ජනක් ද සිල්වා සහ අචල වෙන්ගප්පුලි යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබූ අතර, එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී.

වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් ඇතුළු පිරිසක් නම් කර ඇති බව සඳහන් වේ.

"දිට්වා" සුළි කුණාටු තත්ත්වයක් ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් පූර්ව අනතුරු ඇඟවීම් සිදුකර තිබියදීත්, ඉන් සිදුවිය හැකි හානිය අවම කර මහජනතාව ආරක්ෂා කිරීම සඳහා රජය නිසි පූර්ව සැලසුම් ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වූ බව පෙත්සම්කරු පෙන්වා දී ඇත.

රජයේ මෙම බිඳවැටීම හේතුවෙන් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඡනය වී ඇති බවට ප්‍රකාශ කරන ලෙස පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියි. එමෙන්ම, ඉදිරියේදී මෙවැනි ස්වාභාවික ආපදා තත්ත්වයන් ඇතිවීම වැළැක්වීමට සහ ඉන් සිදුවන හානි අවම කර ගැනීමට අවශ්‍ය නිසි මාර්ගෝපදේශ මාලාවක් (Guidelines) රජය වෙත නිකුත් කරන ලෙස ද පෙත්සම මඟින් වැඩිදුරටත් ඉල්ලා තිබේ.