ජාතික තේ ඉලක්කය වෙනුවෙන් 'Ceylon Tea Village' ජාතික වැඩසටහන ඇරඹේ
July 15, 2026 05:32 pm
2030 වසර වන විට ශ්‍රී ලංකාවේ නිමි තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 400 දක්වාත්, තේ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 2.5 දක්වාත් ඉහළ නැංවීමේ ජාතික ඉලක්කය සාක්ෂාත් කර ගැනීමේ අරමුණින්, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය විසින් “Ceylon Tea Village” හෙවත් තේ ගම්මාන 500ක් ස්ථාපිත කිරීමේ ජාතික වැඩසටහන නිල වශයෙන් ආරම්භ කර තිබේ.
මෙම ජාතික වැඩසටහනේ පළමු අදියර යටතේ 2026 වසර තුළ දිවයින පුරා පිහිටි තේ පරීක්ෂක කොට්ඨාස 144ම ආවරණය වන පරිදි තේ ගම්මාන 144ක් ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත.
මීට සමගාමීව, බදුල්ල දිස්ත්‍රික්කයේ තෝරාගත් ආදර්ශ ගම්මානයක් වන හාලිඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පහමුණුකොට ග්‍රාමසේවා වසමේ උඩගම ගම්මානයේදී විශේෂ සමාරම්භක උත්සවයක් අද දින පැවැත්විණි.
තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන්හෙන්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ උසස් නිලධාරීන්, ප්‍රාදේශීය දේශපාලන නායකයින් මෙන්ම ප්‍රදේශයේ කුඩා තේවතු හිමියන් විශාල පිරිසක් ද සහභාගී වූහ.
මෙම ජාතික වැඩසටහන ශ්‍රී ලංකාවේ කුඩා තේවතු අංශයේ තිරසාර සංවර්ධනය උදෙසා තැබූ සුවිශේෂී පියවරක් වන අතර, මින් ගොවි ජනතාවගේ ආදායම් වර්ධනය කිරීම, තේ කර්මාන්තය නවීකරණය කිරීම සහ ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම අපේක්ෂා කෙරේ.
එමෙන්ම, මෙය 2030 වසර සඳහා වන ශ්‍රී ලංකාවේ ජාතික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම වෙනුවෙන් සපයනු ලබන ප්‍රබල දායකත්වයක් ද වනු ඇත.
