හොර මත්පැන් බෝතල් 5,575ක් සමඟ අයෙක් කොටුවෙයි
July 15, 2026 11:35 am
නීතිවිරෝධී ලෙස ගබඩා කර තිබූ මත්පැන් බෝතල් 5,575ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ මුලතිව් පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
ඊයේ (14) මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ සිදුකළ මෙම මෙහෙයුම නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ගෝඨාභය ආයතනයට ලැබුණු බුද්ධි තොරතුරක් මත ක්‍රියාත්මක කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 43ක් වන මුලතිව් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු සහ නීතිවිරෝධී මත්පැන් තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මුලතිව් සුරාබදු දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාරදී ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කළේය.
