දකුණු ආසියාවේ දිගම වාරි උමග අද ජනතා අයිතියට
July 15, 2026 07:19 am
දකුණු ආසියාවේ දීර්ඝතම වාරිමාර්ග උමගේ කැණීම් කටයුතු සාර්ථකව අවසන් කරමින්, ශ්‍රී ලංකාවේ වාරි ඉතිහාසයේ නව පරිච්ඡේදයක් අද (15) සනිටුහන් කෙරේ.
දශක හයකට ආසන්න කාලයක් තිස්සේ සැලසුම් කළ මහවැලි මහ සැලැස්මේ ප්‍රධානතම අදියරක් වන උතුරුමැද මහ ඇළ ව්‍යාපෘතියේ කිලෝමීටර් 27.7ක් දිග යෝධ වාරි උමගෙහි අද ජනතා අයිතියට පත්කෙරේ.
ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය දායකත්වයෙන් ක්‍රියාත්මක වන මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන යටතේ ඉදිකෙරෙන මෙම උමග දකුණු ආසියාවේ දීර්ඝතම වාරිමාර්ග උමග ලෙස සැලකේ.
නවීන Tunnel Boring Machine යන්ත්‍ර දෙකක් යොදාගෙන මහමීගස්වැව සහ කොදුරුවාව ප්‍රදේශවලින් එකවර ආරම්භ කළ කැණීම් කටයුතු අද පොළොව යටදී එකිනෙක හමුවීමත් සමඟ අවසන් වන අතර, ඉංජිනේරු ක්ෂේත්රයේ එය "Tunnel Breakthrough" ලෙස හැඳින්වේ.
කිලෝමීටර් 240කට ආසන්න දිගකින් යුත් උතුරුමැද මහ ඇළ ව්‍යාපෘතිය මඟින් මහා වාරි පද්ධති 12ක් සහ එල්ලංගා පද්ධති 130කට අයත් වැව් 1,505ක් පෝෂණය කිරීමට නියමිතය.
මෙම ව්‍යාපෘතියෙන් පවුල් 25,000කට සෘජු ප්රතිලාභ හිමිවන අතර, හෙක්ටයාර 74,000ක වගාබිම් යල සහ මහ කන්න දෙකේම අස්වැද්දීම සඳහා ජලය සැපයීමට හැකි වේ.
රජරට ප්‍රදේශයේ ජනතාව දශක ගණනාවක් තිස්සේ මුහුණ දෙන හඳුනා නොගත් වකුගඩු රෝගය අවම කිරීම සඳහා පිරිසිදු පානීය ජලය සැපයීම ද මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණකි.
ඒ අනුව වසරකට ජල ඝන මීටර් මිලියන 70ක් මුදාහැරමින් මිලියන 1.5කට ආසන්න ජනතාවගේ පානීය ජල අවශ්‍යතා සපුරාලීමට සැලසුම් කර තිබේ.
