හෝමුස් යළිත් යුද පිටියක් වෙයි : අමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර මාලාවක්
July 15, 2026 05:20 am
හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කළ වාණිජ නැව්වලට ඉරානය ප්‍රහාර එල්ල කිරීමත් සමඟ, අමෙරිකාව විසින් ඉරාන වරායන් වෙත යළිත් පූර්ණ නාවික අවහිරතාවයක් පනවා තිබේ.
මේ හේතුවෙන් දෙපාර්ශ්වය අතර පැවති තාවකාලික සටන් විරාමය සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඇති අතර, කලාපය තුළ දැවැන්ත යුද්ධයක් ඇති වීමේ දැඩි අවදානමක් මතුව ඇත.
පසුගිය අප්‍රේල් මාසයේදී පැනවූ මෙම අවහිරතාවය, ජූනි මාසයේ ඇති කරගත් සාකච්ඡා ගිවිසුමකින් පසු ඉවත් කරගැනීමට අමෙරිකාව පියවර ගත්තේය.
නමුත් එම සාකච්ඡා අසාර්ථක වෙමින් හෝමුස් සමුද්‍ර සන්ධියේ ගැටුම් නැවතත් උත්සන්න වී තිබේ.
මේ අතර, හෝමුස් හරහා ගමන් කරන නැව්වලින් 20%ක ගාස්තුවක් අය කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මුලින් සැලසුම් කළද, ගල්ෆ් කලාපයේ මිත්‍ර රටවල රාජ්‍ය නායකයන්ගේ ඉල්ලීම මත ඔහු එම තීරණය වෙනස් කළේය.
නැව්වලින් ගාස්තු අය කරනවා වෙනුවට, එම රටවල් අමෙරිකාව තුළ ඩොලර් බිලියන ගණනක විශාල ආයෝජන සිදුකිරීමට එකඟ වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
නාවික අවහිරතාවය පැනවීමට පෙර අමෙරිකානු හමුදාව විසින් ඉරානයේ මිසයිල, ඩ්‍රෝන සහ වෙරළාරක්ෂක මධ්‍යස්ථාන ඉලක්ක කරගනිමින් දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබුණි.
ඉරානය විසින් එම ප්‍රහාරය පිළිගෙන ඇති අතර, ඔවුන් පවසන්නේ තමන් සතු බලය නැති කිරීමට අමෙරිකාව උත්සාහ ගනිමින් සිටින බවයි.
ලෝකයේ තෙල් සහ ගෑස් අවශ්‍යතාවයෙන් 20%ක්ම ප්‍රවාහනය කරනු ලබන්නේ, හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා වීම හේතුවෙන් ගෝලීය වශයෙන් අර්බුද රැසක් උද්ගත වී තිබේ.
පසුගිය පෙබරවාරි මාසයේදී අමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට ප්‍රහාර එල්ල කිරීමත් සමඟ මෙම මාර්ගය අවහිර වූ අතර, එයින් ලෝක වෙළඳපොළේ තෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ ගිය අතර පසුව ඇරඹි සාම සාකච්ඡා හේතුවෙන් නැවතත් යථා තත්ත්වයට පත්වුණි. එහෙත් අමෙරිකාව සහ ඉරානය අතර යළි යුද ගැටුම් වර්ධනය වීම හේතුවෙන් ලෝක වෙළඳපොළේ තෙල් නැවත ඉහළ යමින් තිබේ.
දැනට පවතින දැඩි යුදමය තත්ත්වය හේතුවෙන් ජාත්‍යන්තර ගුවන් සේවාවලටද අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
