BIMSTEC කෘෂිකර්ම අමාත්‍යවරුන්ගේ 4 වන සමුළුවේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට
July 14, 2026 02:15 pm
බහු ආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගිතාව සඳහා වූ බෙංගාල බොක්ක මුල පිරීම හෙවත් 'BIMSTEC' සංවිධානයේ හතරවන කෘෂිකර්ම අමාත්‍යවරුන්ගේ සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ රැස්වීම ශ්‍රී ලංකාවේ දී පැවැත්වීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
මෙවර BIMSTEC රැස්වීමේ සත්කාරකත්වය ශ්‍රී ලංකාව විසින් හිවීම සම්බන්ධයෙන් වන යෝජනාව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩල වෙත ඉදිරිපත් කර ඇත.
ඒ අනුව, මෙම සුවිශේෂී කලාපීය සමුළුව 2027 මාර්තු මස 17 සහ 18 යන දෙදින තුළ මෙරටදී පැවැත්වීමට නියමිතය.
බිස්ටෙක් සංවිධානයේ සාමාජික රටවල බහුතරයකගේ ප්‍රධාන ජීවනෝපාය සහ රැකියා මූලාශ්‍රය කෘෂිකර්මාන්තයයි.
කලාපීය ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සහ තිරසර සංවර්ධනය ළඟා කරගැනීම උදෙසා කෘෂිකර්ම හා ඒ ආශ්‍රිත අංශවල ඇති වැදගත්කම සැලකිල්ලට ගනිමින්, බිස්ටෙක් සහයෝගිතාවයේ ප්‍රමුඛතම අංශයක් ලෙස කෘෂිකර්මාන්තය නම් කර තිබේ.
මෙම අරමුණු පෙරදැරිව, බිස්ටෙක් කෘෂිකර්ම අමාත්‍යවරුන්ගේ සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ රැස්වීම වසර දෙකකට වරක් සාමාජික රටකදී පවත්වනු ලබයි.
බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල් අතර ආර්ථික සහ තාක්ෂණික සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත් මෙම කලාපීය සංවිධානය දකුණු සහ නැගෙනහිර ආසියාතික රටවල් 07 කින් සමන්විත වේ.
සාමාජික රටවල් වන්නේ ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මියන්මාරය, නේපාලය සහ තායිලන්තයයි.
මෙම සමුළුව ශ්‍රී ලංකාවේදී පැවැත්වීම හරහා කලාපීය කෘෂිකාර්මික තාක්ෂණික දැනුම හුවමාරු කර ගැනීමටත්, මෙරට කෘෂි අංශයේ ප්‍රවර්ධනයටත් නව මාවතක් විවර වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
