පුද්ගලයින් රවටා කළක් තිස්සේ මුදල් හා දේපොළ වංචා කළ තිදෙනෙකු මාට්ටු

පුද්ගලයින් රවටා කළක් තිස්සේ මුදල් හා දේපොළ වංචා කළ තිදෙනෙකු මාට්ටු

July 14, 2026   09:46 am

පොලිස් නිලධාරීන් හා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් ලෙස පෙනී සිටිමින් වසර තුනකට අධික කාලයක් පුරා දිවයිනේ පොලිස් කොට්ඨාස පහළොවක පුද්ගලයින් රවටා රුපියල් කෝටි ගණනක රත්තරන් මුදල් හා දේපොළ වංචා කළ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ලබන 24 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගම්පොළ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

සැකකරුවන් උඩුනුවර දවුලගල ප්‍රදේශයේ පදිංචිකරුවන් තිදෙනෙකි.

අවුරුදු 40,44,45 වයස්වල පසුවන මොවුන් විවිධ ප්‍රදේශවලට ගොස් හුදකලාව ගමන් ගන්නා පුද්ගලයන් මෙන්ම වාහන නවතා මෙසේ පොලිස් නිලධාරීන් හෝ සී. අයි. ඩී නිලධාරීන් ලෙස පෙනී සිට ඔවුන්ට විවිධ චෝදනා කොට පරීක්ෂා කරන මුවාවෙන් මේ පිරිස් සතු හා නිවාසවල තිබෙන රන් භාණ්ඩ හා මුදල් කොල්ලකා ඇති බව අනාවරණය වී තිබේ.

මෙලෙස 2023 වසරේ සිට මොවුන් විසින් පේරාදෙණිය, මහනුවර, කොළඹ කොම්පඤ්ඤ වීදිය, ග්‍රෑන්පාස් ,මාවනැල්ල නාරම්වල, පිළිමතලාව, දවුලගල ගම්පොල, ගලහා කෑගල්ල කඩුගන්නාව ඇතුළු ප්‍රදේශ ගණනාවක මෙම මංකොල්ලකෑම සිදුකර තිබේ.

එක් අවස්ථාවකදී කෑගල්ල ප්‍රදේශයේදී මොවුන් භාරයට ගත් පුද්ගලයන්ට ඇසෙන සේ "ලොකු සර් පොලීසියට මේ අය ගේන්න කීවා" යැයි කතාවී ඔවුන් කෑගල්ල පොලීසිය අසලටම රැගෙන විත් ඔවුන් සතුව තිබූ මුදල් හා රන්භාණ්ඩ කොල්ලකා පලා ගොස් තිබේ. 

එසේම නිවාස පරික්ෂා කරන මුවාවෙන් එම නිවැසියන් එක් ස්ථානයක රඳවා තබා නිවාසවල තිබෙන මුදල් හා දේපලද මේ ලෙස කොල්ලකා තිබේ. 

ගම්පොළ ප්‍රදේශයේ දී සිදුකළ මෙවැනි කොල්ලයකින් පසු ලද බුද්ධි තොරතුරු මත පේරාදෙණිය නගරයේ දී එක් අයෙකු අල්ලා ගැනීමෙන් පසු ඉතිරි දෙදෙනා පිළිමතලාව නගරයේ සිටිදී අල්ලාගෙන තිබේ.

හෙරොයින් හා මත්පෙති පානයට තදින් ඇබ්බැහි වී සිටි මොවුන් තිදෙනා ලබාගත් මෙම මුදල් සියල්ල ඒ සඳහා වැය කොට තිබෙන බවද හෙළිවී තිබේ. 

මංකොල්ලකන ලද රන් භාණ්ඩ උණුකර විවිධ නගරවලට විකුණා ඇති අතර මහනුවර නගරයේ ස්ථානයක එසේ විකුණන ලද රන් භාණ්ඩ ප්‍රමාණයක්ද සොයාගෙන තිබේ..

මොවුන් සතුව තිබූ ත්‍රීරෝද රථයක් පිහියක් මත්පෙති හා උණු කරන ලද රන්භාන්ඩ ඇතුළු විවිධ දේපළ කිහිපයක් ද සොයාගත් බව පොලීසිය සඳහන් කරයි.