ගම්පහ ඔස්මන්ගේ පුතාගෙන් පෙත්සමක්

ගම්පහ ඔස්මන්ගේ පුතාගෙන් පෙත්සමක්

July 14, 2026   09:31 am

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ව්‍යපාරිකයෙකු වන ගම්පහ ඔස්මන් හෙවත් ඔස්මන් ගුණසේකරගේ පුත්‍රයා විසින් ගොනු කොට තිබූ රිට් පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය නියෝග කර තිබේ.

ඒ අනුව අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර සිටින කොළඹ අපරාධ කොට්ඨාසේ අධ්‍යක්ෂකවරයා ඇතුළු පිරිසට සැප්තැම්බර් මස 03 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙස අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන ශෂී මහේන්ද්‍රන් සහ ආදිත්‍ය බාල පටබැඳීගේ යන මහත්වරුන්ගේ සමන්විත විනිසුරු මඩුල්ලක් විසින් නියෝග කර ඇත.

ගම්පහ, ඉබුල්ගොඩ ප්‍රදේශයේ පදිංචි ෂෙහාන් ගුණසේකර මහතා විසින් ගොනුකොට තිබූ පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ලොකුහෙට්ටි  ඇතුළු පිරිසක් නම් කර තිබේ.

නීතිඥ අමිල කුමාර මහතා මාර්ගයෙන් ගොනුකොට ඇති පෙත්සම තුළින් පෙත්සම්කරු කියා සිටින්නේ තමන් වෘත්තියෙන් ව්‍යාපාරිකයෙකු බවත් ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් තමන්ගේ පියා අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවා ගෙන විමර්ශන සිදු කෙරෙන බවත් ය.

පසුගිය මැයි 13වනදා දින තම පියාගේ නිවස සෝදිසි කොට ගිනිඅවි දෙකක් සොයාගත් බවත් එම ගිනි අවිවලට නීතියානුකූල බලපත්‍ර තිබූ බව පෙන්වා දුන් පෙත්සම්කරු එහෙත් නීතිවිරෝධිව අවි තබාගත් බවට මාධ්‍ය මගින් වැරදි ප්‍රචාරයක් ගෙන ගිය බවත් කියා සිටියේය.

කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙස තමන්ට ද දැනුම් දීමක් සිදු කර ඇතැයි සඳහන් කළ පෙත්සම්කරු තමා අවස්ථා කිහිපයකදීම එම කොට්ඨාශයට ගොස් ප්‍රකාශ ලබාදුන් බව කියා සිටියේය.

එහිදී කෙහෙල්බද්දර පද්මේ තායිලන්තයේ සිටියදී ඔහු හා සම්බන්ධතා පවත්වා තිබේදැයි ප්‍රශ්න කළ බවත් තර්ජනාත්ම ස්වරූපයෙන් තමාගෙන් ප්‍රශ්න කිරීම් සිදු කළ බවත් පෙත්සම්කරු පවසයි.

මෙම තත්ත්වය යටතේ තමන්ව ඕනෑම මොහොතක අත්අඩංගුවට ගැනීමේ තත්ත්වයක් උද්ගත වී ඇති බවත් ඒ අනුව තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙහිදී පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ අමිල කුමාර මහතාගේ උපදෙස් මත නීතිඥ රුක්ෂාන් සේනාධිර මහතා සමඟ ජනාධිපති නීතිඥ සංජිව ජයවර්ධන මහතා පෙනී සිටියේය.

එමෙන්ම නීතිපතිවරයා වෙනුවෙන් රජයේ නීතිඥ අකිලා දල්පදාදු මෙනවිය පෙනී සිටියාය.