කටාර්හි අල් උඩෙයිඩ් ගුවන් කඳවුරට ඉරානයෙන් ප්‍රහාර

කටාර්හි අල් උඩෙයිඩ් ගුවන් කඳවුරට ඉරානයෙන් ප්‍රහාර

July 12, 2026   12:56 pm

කටාර්හි පිහිටි අල් උඩෙයිඩ් ගුවන් කඳවුර වෙත ප්‍රහාර එල්ල කළ බව ඉරානය පවසයි.

එහිදී ඉරානය වැඩිදුරටත් සඳහන් කර සිටියේ සිය ප්‍රහාරක ජෙට් යානා විසින් නඩත්තු මධ්‍යස්ථානයක්, අණදෙන හා පාලන පහසුකම් මධ්‍යස්ථානයක් විනාශ කළ බවය.

එමෙන්ම ඕමානයේ පිහිටි අමෙරිකානු නාවික හමුදා සැපයුම් සහ ඉන්ධන පිරවුම් මධ්‍යස්ථානයක්ද ඉලක්ක කර ගනිමින් ඉරානය විසින් ප්‍රහාර එල්ල කර ඇති බව වාර්තා වේ.

මේ අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යය පවසන්නේ ඉරානයෙන් පැමිණෙන මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර තම ගුවන් ආරක්ෂක පද්ධති මඟින් ව්‍යර්ථ කරමින් සිටින බවය.

ආරක්ෂක තර්ජන ඉහළ මට්ටමක පවතින බැවින් ජනතාවට තම නිවෙස්වල හෝ වෙනත් ආරක්ෂිත ස්ථානවල රැඳී සිටින ලෙස කටාර් රාජ්‍යයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ද නිවේදනය කර සිටී.

නිල ආරක්ෂක උපදෙස් පිළිපදින ලෙසත් අනවශ්‍ය ගමන් බිමන්වලින් වළකින ලෙසත් ඔවුන් සිය වැසියන්ගෙන් වැඩිදුරටත් ඉල්ලීම් කර ඇත.

එමෙන්ම බහරේනයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පැවසුවේ ගුවන් ප්‍රහාරක සයිරන් නාද කර ඇති බැවින් මහජනතාවට සන්සුන්ව සිටින ලෙසය.

අමෙරිකානු ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් ජෝර්දානයේ පිහිටි අමෙරිකා හමුදා කඳවුරකට ප්‍රහාර එල්ල කළ බවත් එහිදී ප්‍රින්ස් හසන් ගුවන් කඳවුරේ අණදෙන සහ පාලන මධ්‍යස්ථානය මෙන්ම MQ-9 ඩ්‍රෝන යානා රඳවා තබන මධ්‍යස්ථාන විනාශ වූ බවත් ඉරානය වාර්තා කර සිටී.