සිරකරුවෝද මනුෂ්‍යයෝය - අදටත් වලංගුද ?

සිරකරුවෝද මනුෂ්‍යයෝය - අදටත් වලංගුද ?

July 11, 2026   12:21 pm

මීගමුව බන්ධනාගාර ඛේදවාචකය අවසන්ව සතියකට ආසන්න කාලයක් ගත වුවද එහි නෂ්ටාවශේෂ අදටත් ඉතිරිව පවතී.

විශේෂයෙන්ම මෙම සිද්ධියෙන් මියගිය රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරීන්ගේ අවසන් කටයුතු අද (11) දිනයේදීත් සිදුකිරීමට නියමිතව තිබේ.

පසුගිය ඉරිදා (05) දිනයේදී මීගමුව බන්ධනාගාරය තුළ හටගත් නොසන්සුන් තත්ත්වය ගැටුමක් දක්වා පරිවර්තනය වූ අතර ඊට පසුදිනය දක්වාද මෙය පැතිර ගියේය.

සඳුදා (06) දිනයේ මෙම කැරැල්ලේ දරුණුතම සහ ම්ලේච්ඡතම දිනය ලෙස සිහිපත් කළ යුතුව ඇත.

 

ගැටුම ආරම්භ වූ ඉරිදා දිනයේ දෙදෙනෙකු මියගිය අතර සඳුදා දිනය වනවිට එහි සමස්ථ සංඛ්‍යාව 28ක් දක්වා ඉහළ ගොස් තිබුණි.

මියගිය අය අතර බන්ධනාගාර නිලධාරීන් සිටීම මෙම ප්‍රහාරයේ ම්ලේච්ඡත්වය මොනවට කියාපායි.

බන්ධනාගාර නිලධාරීන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු මෙන්ම පොලිසිය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තා කළ කරුණුවලට අනුව ඇතැම් නිලධාරීන් ඝාතනය කර ඇත්තේ අමානුෂික වධ හිංසා පැමිණවීමෙන් බව කියවෙයි.

ඇතැම් නිලධාරීන්ගේ හිසට ගල්වලින් පවා ප්‍රහාර එල්ලකර ඇති අතර ඇතැම් නිලධාරීන්ගේ ලිංගික ප්‍රදේශවලට පවා හානි සිදුකර ඇති බවට තොරතුරු වාර්තා විය.

 

කෙසේවෙතත් මෙම තත්ත්වය තුළ බන්ධනාගාරගතව සිටින රැඳවියන් කෙතරම් ම්ලේච්ඡ පුද්ගලයින් දැයි සිතාගත නොහැකි තත්ත්වයක පවතී.

'සිරකරුවෝද මනුෂ්‍යයෝය' යන්න බන්ධනාගාර තාප්පවල ප්‍රදර්ශනය කර තිබුණද එය වර්තමානයට කෙතරම් ගැලපේද යන්න සම්බන්ධයෙන් මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ සිද්ධියෙන් අනතුරුව මේ වනවිට ගැටලුවක්ව පවතී.

දඩ මුදල් ගෙවාගත නොහැකිව බන්ධනාගාරගත වන ඇතැම් පුද්ගලයින් බන්ධනාගාර තුළ සිටින රැඳවියන් සමග පවත්වන විවිධ සබඳතා හේතුවෙන් ඔවුන්ද ම්ලේච්ඡත්වට හුරු වනවාදැයි සැක සහිත කාරණයකි.


 

විවිධ ගණයේ අපරාධකරුවන් බන්ධනාගාර තුළ සිටින අතර ඔවුන්ගෙන් ඇතැම් පුද්ගලයින් මනුෂ්‍යයන් යැයි කිවහැකි මට්ටමක සිටියද 99%ම මිනිස් වෙස් ගත් අමනුෂ්‍යයන් බව නොකියාම බැරිය.

බන්ධනාගාර අතීත ගැටුම්..

අතීතයේදී රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ලේම පාහේ ආණ්ඩු යටතේ බන්ධනාගාර තුළ කැරලි සිදුවී ඒ අතුරින් දරුණුතම කැරැල්ල වූයේ 1983 දෙමළ විරෝධී කළු ජූලිය සමයේ සිදුවූ වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ කැරැල්ලයි. එහිදී බන්ධනාගාර නිලධාරීන්ගේ සහ හමුදා සාමාජිකයන්ගේ සහාය ඇතිව රැඳවියන් සහ පිටස්තර පුද්ගලයන් විසින් දෙමළ රැඳවියෝ 53 දෙනෙක් ඝාතනය කරනු ලැබූහ.

පසුව, 2000 ඔක්තෝබර් 24-25 දිනවල බණ්ඩාරවෙල, බිඳුණුවැව පිහිටි රජයේ පුනරුත්ථාපන රැඳවුම් මධ්‍යස්ථානයකට පිහි, පොලු සහ වෙනත් ආයුධ රැගෙන කඩා වැදුණු පිටස්තර මැර පිරිසක් කොටි සංවිධානය සමග සබඳතා පවත්වන බවට සැක කෙරුණු, තරුණ දෙමළ රැඳවියන් 27 දෙනකු ඝාතනය කර තවත් 14 දෙනකුට බරපතළ තුවාල ලැබීය. 

ජනතා විමුක්ති පෙරමුණ 1988 වසරේදී කොළඹ මැගසින් බන්ධනාගාරයට ප්‍රහාරයක් එල්ල කර, එහි සිරගත කර සිටි ඔවුන්ගේ සාමාජිකයන් 170 දෙනකු පමණ මුදාගත්තේය. එකල අධිකරණ අමාත්‍යවරයා වූ ආචාර්ය නිශ්ශංක විජයරත්න මහතා මෙම සිද්ධියේ වගකීම බාර ගනිමින් තම අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය. 

2012 වසරේ දී, වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් කළ විරෝධතාවකින් අනතුරුව විශාල ගැටුමක් ඇති වූ අතර, කලහකාරී රැඳවියන් මර්දනය කිරීමෙන් පසු එදින රාත්‍රී එහි සිටි රැඳවියෝ 27 දෙනෙක් ඝාතනය කරනු ලැබූහ. ඔවුන්ගෙන් ඇතැම් රැඳවියන් නම් අඬ ගසා කැඳවාගෙන පසුව හිසට වෙඩි තබා ඝාතනය කෙරුණු බව කියැවිණි.

2020 නොවැම්බර් මාසයේදී මහර බන්ධනාගාරයේද මෙවැනිම තත්වයක් ඇති විය. එහිදී රැඳවියන් බන්ධනාගාරය තුළ කොවිඩ් -19 රෝගයට අදාළ පීසීආර් පරීක්ෂණ වැඩියෙන් කරන ලෙස ඉල්ලා පැවැත්වූ විරෝධතාවක් කලහකාරී තත්වයකට හැරුණු අතර, එහි ප්‍රතිඵලයක් ලෙස රැඳවියන් 11 දෙනකු මියගොස් තවත් රැඳවියන් 117 දෙනකුට බරපතළ තුවාල සිදු විය. බන්ධනාගාර ගොඩනැගිලි කිහිපයකට ද ගිනි තබා තිබුණි.

බන්ධනාගාර තදබදය සහ කිඹුල් කඳුළු...

බන්ධනාගාර තුළ රැඳවියන් සඳහා පවතින පහසුකම් ප්‍රමාණය අල්පවීම රැඳවියන් නීතිය අතට ගැනීමට ප්‍රධාන හේතුවක් බව සිරකරුවන් සුරැකීම වෙනුවෙන් පෙනීසිටින සංවිධාන මාධ්‍ය හමු පවත්වමින් ප්‍රකාශ කරන ආකාරය අප දැක නැතුවා නොවේ.

කෙසේවෙතත් රජයට හැකි ආකාරයෙන් බන්ධනාගාර රැඳවියන් ආරක්ෂා කිරීම සහ ඔවුන්ගේ සුබසාධන කටයුතු සිදුකරන අතර ඒවා සිදුකරනු ලබන්නේද ජනතා බදු මුදලෙනි.

කිසිදු රජයකට සිරකරුවන් සම්බන්ධයෙන් පැහැදිලි වැඩපිළිවෙලක් නොතිබුණු අතර වත්මන් රජයටද එවැනි වැඩපිළිවෙළක් නොමැති බව අකමැත්තෙන් වුවද ප්‍රකා‍ශ කළ යුතුව පවතී.

එමනිසා වහ වහාම සිදුකළ යුත්තේ බන්ධනාගාර රැඳවියන්ගේ සුබසාධනය සහ අනෙකුත් පහසුකම් වෙනුවෙන් කිසියම් වැඩපිළිවෙලක් යොදවා ගැටලු නිරාකරණය කිරීම වෙයි.

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් පසුව අමාත්‍යවරයා වගකීම භාර ගැනීම හෝ නිලධාරීන්ගේ සහ රැඳවියන්ගේ අවමංගල්‍ය උත්සව සඳහා සහභාගී වී කඳුළු සැලීම මෙම ගැටලු නිරාකරණය කිරීමට ප්‍රමාණවත් නොවන බව කිව යුතුමය.

සියලු කරුණු පිළිබඳ සොයාබැලීමේදී ප්‍රශ්න කළ යුතු වන්නේ "සිරකරුවෝද මනුෂ්‍යයෝය" එය අදටත් වලංගුද යන්නයි.