ප්‍රංශය සමග සටනට ස්පාඤ්ඤය අවසන් පූර්ව වටයට

ප්‍රංශය සමග සටනට ස්පාඤ්ඤය අවසන් පූර්ව වටයට

July 11, 2026   07:12 am

‍මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ උණුසුම උපරිමයටම ළඟාවෙමින් පවතින පසුබිමක, ලෝකය පුරා ක්‍රීඩාලෝලීන්ගේ දැඩි අවධානය දිනාගත් තවත් තීරණාත්මක අර්ධ අවසන් පූර්ව තරගයකින් බෙල්ජියම පරදා ගෝල 2-1ක විශිෂ්ට ජයක් ලැබීමට ස්පාඤ්ඤය සමත් විය. 

අමෙරිකාවේ 'SoFi Stadium' ක්‍රීඩාංගණයේදී මෙරට වේලාවෙන් අද (11) අලුයම පැවැති මෙම තරගයේ පරාජයත් සමග බෙල්ජියමට මෙවර ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට විසිවීමට සිදුවිය.

තරගයේ ආරම්භයේ සිටම කණ්ඩායම් දෙකෙන්ම දැකගත හැකි වූයේ කරට කර සටනකි. ඒ අනුව තරගයේ පළමු අර්ධය නිමාවන විට කණ්ඩායම් දෙකම ගෝල 1-1ක් ලෙස සම තත්ත්වයේ පසුවිය. 

දෙවැනි අර්ධයේදී ද දෙපාර්ශවයෙන්ම දැඩි ආරක්ෂණ සහ ප්‍රහාරාත්මක උපක්‍රම ක්‍රියාත්මක වූ අතර, තරගයේ ඉරණම සම්පූර්ණයෙන්ම වෙනස් වූයේ 88 වැනි මිනිත්තුවේදීය. 

එතෙක් පැවති සම තත්ත්වය බිඳ හෙළමින් ස්පාඤ්ඤය වාර්තා කළ ගෝලයත් සමග ඔවුන් තරගයේ ජයග්‍රහණය තමන් සතු කරගැනීමට සමත් විය.

ස්පාඤ්ඤය අවසන් වරට පාපන්දු ලෝක ශූරතාවක් දිනාගත්තේ මීට වසර 16කට පෙර, එනම් 2010 වසරේ දකුණු අප්‍රිකාවේ පැවැති තරගාවලියේදීය. 

එතැන් පටන් යළිත් ලෝක කුසලානයක් දිනාගැනීමේ දැඩි පිපාසයකින් පසුවන ඔවුන්, මෙවර ඒ සඳහා යන මඟ එළිපෙහෙළි කරගනිමින් සිටී.

1930 වසරේ ආරම්භ වූ ලෝක කුසලාන ඉතිහාසයේ පැරණිතම සාමාජිකයෙකු වන බෙල්ජියමට මෙවරත් හිස් අතින්ම හැරී යාමට සිදුවිය. 

වසර 96ක ලෝක කුසලාන ඉතිහාසය තුළ බෙල්ජියම ලබා ඇති ඉහළම දක්ෂතාව වන්නේ 2018 වසරේ රුසියාවේ පැවැති තරගාවලියේදී තෙවැනි ස්ථානය දිනාගැනීමයි. 

ඒ අනුව ඔවුන්ගේ මෙවර ලෝක කුසලාන සිහිනය අර්ධ අවසන් පූර්ව වටයෙන් නිමාවිය.

මෙම ජයග්‍රහණයත් සමග මෙවර ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයට ක්‍රීඩාකරන කණ්ඩායම් ද්විත්වය තීරණය වූ අතර, ඒ අනුව ප්‍රබල ප්‍රංශයට එරෙහිව ස්පාඤ්ඤය තරග වැදීමට නියමිතය.

එම තරගය ප්‍රේක්ෂකයින් 80,000කට අසුන්ගත හැකි අමෙරිකාවේ ඩලස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර, එම තරගය මෙරට වේලාවෙන් ජූලි 15 වැනිදා අලුයම 12.30ට පැවැත්වීමට නියමිතය.