රාජකාරිය දේවකාරිය කරගත් තවත් වීරයෙකු නික්ම යයි

රාජකාරිය දේවකාරිය කරගත් තවත් වීරයෙකු නික්ම යයි

July 9, 2026   12:26 pm

මීගමුව බන්ධනාගාරේ සිද්ධියේදී දිවි අහිමි වූ 08වන බන්ධනාගාර නිලධාරියා වන බන්ධනාගාර නියාමක එම්.ජී. උපාලි මහතාගේ දේහය අද (09) කඹුරුපිටියේ පිහිටි ඔහුගේ නිවසට රැගෙනයාමට නියමිතව තිබේ.

සිය රාජකාරි කටයුතු අතරතුර මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්තාවයේදී රැඳවියන්ගේ අමානුෂික පහරදීමෙන් දිවි අහිමි වූ 08 වැනි බන්ධනාගාර නිලධාරියා ලෙස කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි බන්ධනාගාර නියාමක මත්තක ගමගේ උපාලි ඊයේ දහවල් අවසන් හුස්ම හෙළුවේය.

42 හැවිරිදි බන්ධනාගාර නියාමක උපාලි නාවික හමුදාවේ වසර 12ක සේවා කාලයක් සම්පූර්ණ කර බන්ධනාගාර සේවයට එක්ව තිබුණේ වසර 05කට පෙරයි.

මාතර කඹුරුපිටිය හොරපාවිට පදිංචිකරුවෙකු වූ ඔහු වයස අවුරුදු 06ක සහ 09ක පුංචි පුතුන් දෙදෙනෙකුගේ ආදරණිය පියෙකි.

බන්ධනාගාර නියාමකවරයාගේ දේහය අද පස්වරුවේ කඹුරුපිටිය හොරපාවිට ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසට රැගෙන ඒමට නියමිතව තිබේ.‍

මේ අතර,  මීගමුව බන්ධනාගාර නොසන්සුන්තාවය අතරතුර දිවි අහිමි වූ බන්ධනාගාර නියාමක එස්.ඩී.එස්. අබේවර්ධන මහතාගේ නිසල දේහය තැන්පත් කර ඇති කුරුණෑගල වත්තේගෙදර නිවසට අද පෙරවරුවේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැමිණියේය.

මේ අතර, මීගමුව බන්ධනාගාරේ රැඳවියන්ගේ පහරදීමෙන් දිවි අහිමි වූ බන්ධනාගාර ජේලර් එස්.එච්.එස් චන්ද්‍රවංශ මහතා ඇතුළු නිලධාරින් කිහිප දෙනෙකුගේ දේහයන් පිළිබඳ අවසන් කටයුතු අද (09) පස්වරුවේ සිදු කිරීමට නියමිතයි.