ශ්‍රී ලංකාව සහ කසකස්තානය අතර සහයෝගීතාව ශක්තිමත් කිරීමට ද්විපාර්ශ්වික සාකච්ඡා

ශ්‍රී ලංකාව සහ කසකස්තානය අතර සහයෝගීතාව ශක්තිමත් කිරීමට ද්විපාර්ශ්වික සාකච්ඡා

July 9, 2026   11:10 am

ශ්‍රී ලංකාව සහ කසකස්තානය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ ආරක්ෂක සබඳතා තවදුරටත් පුළුල් කරගැනීම පිළිබඳ විශේෂ ද්විපාර්ශ්වික සාකච්ඡාවක්  ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැත්විණි.

ඒ, ශ්‍රී ලංකාවේ කසකස්තාන ජනරජයේ පූර්ණ බලැති නේවාසික තානාපති, සර්ජි වික්ටොරොව් මහතා ආරක්ෂක අමාත්‍යාංශයේදී නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සහ ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුවූ අවස්ථාවේදීය.

ඊයේ (08) ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රය වෙත පැමිණි කසකස්තාන තානාපතිවරයාව නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා සහ ආරක්‍ෂක ලේකම්වරයා විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබූ අතර, අනතුරුව පැවැති සුහද සාකච්ඡාවේදී දෙරටටම අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන ක්ෂේත්‍ර රැසක් කෙරෙහි අවධානය යොමු විය.

එහිදී ,

කලාපීය ස්ථාවරත්වය වෙනුවෙන් දෙරටේ ආරක්ෂක අංශ ඒකාබද්ධව කටයුතු කිරීම.

දෙරටේ සන්නද්ධ හමුදාවන්ගේ වෘත්තීය මට්ටම ඉහළ නැංවීම සඳහා පුහුණු අවස්ථා සහ ධාරිතා වර්ධන (Capacity building) වැඩසටහන් පුළුල් කිරීම.

මානුෂීය ආධාර සහ ආපදා සහන (Humanitarian Assistance and Disaster Relief) ක්ෂේත්‍රයේ සහයෝගීතාව ඉහළ නැංවීම, යන කරුණු ගැන සාක්ච්ඡා කර තිබේ.

දෙරට අතර පවතින දිගුකාලීන රාජ්‍යතාන්ත්‍රික සබඳතා නව මානයන් ඔස්සේ පුළුල් කරගනිමින්, වඩාත් සමීප සහයෝගීතාවයකින් කටයුතු කළ හැකි ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙහිදී දෙපාර්ශ්වය අතර අදහස් හුවමාරු කරගන්නා ලදී.

මෙම නිල හමුව සනිටුහන් කරමින් දෙපාර්ශ්වය අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරුණු අතර, මෙම අවස්ථාවට කොළඹ පිහිටි කසකස්තාන ජනරජ තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී රුස්ටම් ජමන්කුලොව් මහතාද එක්ව සිටියේය.