බහුදින සහ එක් දිනධීවර යාත්‍රා 1,500කට රජයේ වියදමින් නිරීක්ෂණ පද්ධති සවිකිරීමට අනුමැතිය
July 7, 2026 04:38 pm
නීති විරෝධී, වාර්තා නොකළ සහ නියාමනය නොකළ මසුන් ඇල්ලීම මෙන්ම ධීවර යාත්‍රා යොදා ගනිමින් සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම්, මිනිස් ජාවාරම් සහ අනෙකුත් නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකාවේ ධීවර යාත්‍රා නිරීක්ෂණ පද්ධතිය තවදුරටත් පුළුල් කිරීමට රජය තීරණය කර ඇත.
ඒ අනුව මෙතෙක් නිරීක්ෂණ පද්ධති සවි කර නොමැති බහුදින සහ එක්දින ධීවර යාත්‍රා 1,500ක් සඳහා එම පද්ධති සවි කිරීම අනිවාර්ය කිරීමටත්, ඒ සඳහා වන සම්පූර්ණ වියදම රජය විසින් දැරීමටත් කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුව මෙම පියවර ගෙන ඇත.
ශ්‍රී ලංකාවේ ලියාපදිංචි සමස්ත බහුදින ධීවර යාත්‍රා 5,200ක් අතුරින් යාත්‍රා 4,200ක් සඳහා මේ වන විටත් ඕස්ට්‍රේලියානු රජයේ ප්‍රදානයක් ලෙස ලැබුණු නිරීක්ෂණ පද්ධති උපාංග සවි කර අවසන් බව සඳහන් වේ.
2021 ජනවාරි 01 දිනෙන් පසුව අලුතින් ලියාපදිංචි කරනු ලබන සෑම බහුදින ධීවර යාත්‍රාවක් සඳහාම මෙම පද්ධතිය සවි කිරීම අනිවාර්ය කර ඇති අතර, එම යාත්‍රා හිමියන් තමන්ගේ පෞද්ගලික වියදමින් උපකරණ මිල දී ගෙන සවි කරනු ලබයි.
2021 ජනවාරි 01 දිනට පෙර ලියාපදිංචි කර ඇති, මෙතෙක් නිරීක්ෂණ පද්ධති නොමැති දේශීය හා ජාත්‍යන්තර මුහුදේ යාත්‍රා කරන ධීවර යාත්‍රා 1,500ක් මේ යටතේ ආවරණය වේ.
ඒවා කාණ්ඩ දෙකක් යටතේ හඳුනාගෙන ඇත.
* අඩි 34කට වඩා දිගින් යුත්, ඕනෑම අවස්ථාවක ජාත්‍යන්තර මුහුදේ ධීවර හෝ වෙනත් කටයුතු සඳහා යොදවා ගත හැකි යාත්‍රා 400ක්.
* එන්ජින් සහ ඉන්ධන ධාරිතාව අනුව දිගු කලක් මුහුදේ රැඳී සිටීමට තාක්ෂණික යෝග්‍යතාවක් නොමැති, එහෙත් නිරීක්ෂණය කළ යුතු මට්ටමේ පවතින සෙසු යාත්‍රා 1,100ක්.
ශ්‍රී ලංකාව ඉන්දියානු සාගර ටුනා කොමිසමේ (IOTC) සාමාජිකයෙකු වන බැවින්, එම කොමිසමේ රෙගුලාසිවලට අනුව ජාත්‍යන්තර මුහුදේ මසුන් ඇල්ලීමේ නිරත වන සෑම ධීවර යාත්‍රාවක්ම යාත්‍රා නිරීක්ෂණ පද්ධතියක් මඟින් අඛණ්ඩව නිරීක්ෂණය කිරීම අනිවාර්ය වේ.
මෙම නව පියවර හරහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර නීතිමය බැඳීම් සපුරාලීමට මෙන්ම සාගර කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීමට ද සෘජුවම දායක වනු ඇත.
