මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් වෙනත් බන්ධනාගාර වෙත

මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් වෙනත් බන්ධනාගාර වෙත

July 6, 2026   02:05 pm

මීගමුව බන්ධනාගාරය තුළ සිටින රැඳවියන් පිරිසක් වෙනත් බන්ධනාගාර වෙත කඩිනමින් මාරු කර යැවීමට බන්ධනාගාර බලධාරීන් පියවර ගනිමින් සිටින බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ඒ.සී. ගජනායක මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ අද (06) උදෑසන රැඳවියන් අතර නැවතත් ගැටුමක් හටගෙන ඇති අතර, එය මැඩපැවැත්වීමට ගිය බන්ධනාගාර නිලධාරීන්ට රැඳවියන් පහරදීමට පටන් ගෙන ඇති බවය.

එම අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් ප්‍රධාන දොරටුව දෙසට දිව විත් ඇති අතර, රැඳවියන් ඔවුන් පන්නාගෙන අවිත් පහරදීමක් සිදු කර තිබේ.

එහිදී රැඳවියන් බන්ධනාගාරයේ ප්‍රධාන දොරටුව කැඩීමට ද උත්සාහ කර ඇති අතර, එම අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් විසින් අවම බලය යොදා රැඳවියන් පාලනය කිරීමට කටයුතු කර ඇත.

බන්ධනාගාර කොමසාරිස් ඒ.සී. ගජනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ අද උදෑසන රැඳවියන්ට ආහාර ලබාදීමට ගිය අවස්ථාවේදී මෙලෙස පහරදීම සිදුකර ඇති බවය.

"අද උදේ වරුවේ බන්ධනාගාර නිලධාරීන් විසින් ඔවුන්ට උදෑසන ආහාරය ලබාදීමට ගිය අවස්ථාවේදී, රැඳවියන් අතර ඇති වූ ඝට්ටනයක් මුල් කරගෙන නැවත වරක් ආරවුලක් හටගත්තා. එහිදී ඒ අවස්ථාවේ සිටි බන්ධනාගාර නිලධාරීන් එය පාලනය කිරීමට උත්සාහ කළා. පාලනය කිරීමට ගිය නිලධාරීන්ට එම රැඳවියන් කණ්ඩායම් විසින් නැවතවරක් පහර දුන්නා.ඔවුන් නිලධාරීන් පිටුපසින් හඹා ගෙන ඇවිත්, බන්ධනාගාරයේ ප්‍රධාන දොරටුව අසලදීත් පහරදීම් සිදු කළා. ඒ අතරතුර දොරටුව කැඩීමටත් උත්සාහ කර තිබෙනවා.

රැඳවියන් ප්‍රධාන පිවිසුම් දොරටුව කැඩීම වැළැක්වීම සඳහා ඔවුන් එතැනින් ඉවත් කිරීමට නිලධාරීන් උත්සාහ කළත්, විශාල රැඳවියන් පිරිසක් එකතු වී නැවත වරක් නිලධාරීන්ට පහර දෙන්න දී තිබෙනවා. ඒ අවස්ථාවේදී අපේ අනෙකුත් නිලධාරීන් විසින් අවම බලය යොදා තත්ත්වය මැඩපැවැත්වීමට කටයුතු කළා.

ඒ අනුව දැනට නිලධාරීන් කිහිපදෙනෙකු රෝහල් ගත කර තිබෙනවා. එයින් කිහිපදෙනෙකු මියගොස් ඇති බවටත් වාර්තා වෙනවා. තවද රැඳවියන් ප්‍රමාණයක් ද රෝහල් ගත කර ඇති අතර, ඔවුන්ගෙනුත් කිහිපදෙනෙකු මියගොස් ඇති බව මේ වන විට වාර්තා වී තිබෙනවා.

මේ වන විටත් බන්ධනාගාරය තුළ යම්කිසි උණුසුම් තත්ත්වයක් පවතිනවා. කෙසේ වෙතත් බන්ධනාගාර දොරටුව අපේ පාලනය යටතේ තබා ගනිමින්, ඇතුළත තත්ත්වය ද යම් දුරකට පාලනය කිරීමට අප සමත් වී තිබෙනවා. දැනට බන්ධනාගාරය තුළ විශේෂ ආරක්ෂාවක් ද ස්ථාපිත කර තිබෙනවා."

ප්‍රශ්නය: කාන්තා බන්ධනාගාර රැඳවියන් පිරිසක් වහලය මතට නැඟී, විසි දෙනෙකු මැරූ බවට චෝදනා කරමින් වාර්තාවක් ඉල්ලනවා. ඒ වගේම පොඩි දරුවන්ට කන්න දෙන්නේ නැහැ කියලත් ඔවුන් චෝදනා කරනවා නේද?

 "ඔව්, නමුත් මේ සිදුවීමට ඒක අදාළ කාරණයක් නෙමෙයි. මොකද මේ ගැටුම ඇති වුණේ සැකකරුවන් රඳවා සිටින පිරිමි බන්ධනාගාර කොටසේ දෙපිරිසක් අතරයි. පාතාලය සහ මත්ද්‍රව්‍යවලට අදාළව ඇති වෙච්ච ගැටුමක් මේක. එතකොට මේක කාන්තා අංශයට කිසිසේත්ම බලපාන්නේ නැහැ. නමුත් ඔවුන් මේකට සහයෝගයක් දැක්වීමක් වශයෙන් වෙනත් ආකාරයකට මෙලෙස කටයුතු කරන බව මේ අවස්ථාවේදී කියන්න පුළුවන්."

ප්‍රශ්නය: අද දිනයේදී මේ බන්ධනාගාරයේ සිටින කිසියම් පිරිසක් වෙනත් බන්ධනාගාර වෙත මාරු කිරීමක් සිදු වෙනවාද?

"දැනට ඒ සම්බන්ධව යෝජනාවක් තිබෙනවා. අපි ඉදිරියේදී ඒ සම්බන්ධව කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා."

ප්‍රශ්නය: බන්ධනාගාර රැඳවියන්ගේ දෙමාපියන් සහ ඥාතීන් විශාල පිරිසක් අවිවේකීව බලා සිටිනවා. ඔවුන්ට මේ වෙලාවේ දිය හැකි පණිවිඩය කුමක්ද?

 "නැහැ, මේ වෙලාවේ ඔවුන්ට කියන්න තියෙන්නේ කිසිදු කලබලයක් ඇති කරගත යුතු නැති බවයි. අපි මේ අවස්ථාවේදී රැඳවියන් වෙනුවෙන් කරන්න පුළුවන් සියලු ආරක්ෂිත කටයුතු කරනවා. මේ වන විට බන්ධනාගාර කොමසාරිස් ජනරාල්තුමා ඇතුළු කණ්ඩායමකුත් බන්ධනාගාරය වෙත පැමිණ සිටිනවා."

ප්‍රශ්නය: මේ බන්ධනාගාරයේ දැනට රැඳවියන් කීදෙනෙක් පමණ සිටිනවාද?

"මේ වන විට රැඳවියන් 2,400කට ආසන්න ප්‍රමාණයක් මෙහි රඳවා සිටිනවා."