හිරුණිකාගේ ඇපෑල විභාගයට දින දෙයි

හිරුණිකාගේ ඇපෑල විභාගයට දින දෙයි

July 6, 2026   11:17 am

2015 වසරේ දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳ සැලක සේවය කළ තරුණයෙකු පැහැරගෙන ගොස් පහර දී අයුතු සිරකර තැබීමේ චෝදනාවට වරදකරු කිරීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණය විසින් නියම කරනු ලැබූ බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවමින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් ඉදිරිපත් කළ ඇපැල් පෙත්සම විභාගයට ගැනීම සඳහා අභියාචනාධිකරණය අද (06) නියම කළේය.

මෙම ඇපැල් පෙත්සම අද පී.කුමාරන් රත්නම් සහ ප්‍රදීප් හෙට්ටිආරච්චි යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අභියාචක විත්තිකාරිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ ෂවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා පෙනීසිටින බවත් විභාගය සඳහා දිනයක් ලබාදෙන ලෙසත් ඉල්ලා සිටියේය.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම අභියාචනා විභාගය සඳහා කෙටි දිනයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම විභාගය සඳහා අගෝස්තු මස 06 වනදා කැඳවන ලෙස නියෝග කළේය.

2015 වසරේ දෙසැම්බර් මස 21 වනදා දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක සේවය කළ අමිල ප්‍රියංක අමරසිංහ නමැති තරුණයෙකු ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහරදීම ඇතුළු චෝදනාවලට වරදකරු කෙරුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට කොළඹ මහාධිකරණය විසින් 2024 වසරේ ජූනි මස 28 වනදා බරපතල වැඩ සහිත වසර 03 ක් සිර දඬුවමක් සහ රුපියල් 20000/- ක් දඩයක් නියම කළේය.

එම දඩුවමින් සහ දඩ මුදලින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් මෙම ඇපෑල අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබේ.