ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන ගැන දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන ගැන දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

July 5, 2026   11:07 am

ඩෙංගු රෝගය මර්දනය හා පාලනය සම්බන්ධයෙන් මහජනතාවට, මාධ්‍යවේදීන්ට මෙන්ම ඩෙංගු මර්දන කටයුතුවල නිරත රාජ්‍ය නිලධාරීන්ට සහ ස්වේච්ඡා සේවකයන්ට නිවැරදි, විශ්වසනීය හා කඩිනම් තොරතුරු ලබාදීමේ අරමුණින් ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර ඇත.

ඒ අනුව තම ප්‍රදේශවල මදුරුවන් බෝවන ස්ථාන තිබේ නම්, 011-7966366 යන දුරකථන අංකයට දැනුම් දෙන ලෙස ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනෙහි අතිරේක ලේකම් එස්.පී.සී. සුගීශ්වර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

මෙම ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරිය සඳුදා සිට සිකුරාදා දක්වා - පෙ.ව. 8.00 සිට ප.ව. 4.00 දක්වාත්  සෙනසුරාදා - පෙ.ව. 8.00 සිට මධ්‍යහ්න 12.00 දක්වාත් ක්‍රියාත්මක වන බවද සඳහන්.

මෙම දුරකථන අංකය ඔස්සේ ඩෙංගු රෝග ව්‍යාප්තිය පිළිබඳ තොරතුරු ලබා ගැනීම, ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පිළිබඳ තොරතුරු සහ පැමිණිලි වාර්තා කිරීම, මාධ්‍යවේදීන් සඳහා ඩෙංගු රෝග ව්‍යාප්තිය, මර්දනය සහ පාලනය සම්බන්ධ නිල තොරතුරු ලබාගැනීම සිදු කළ හැකිය.

එමෙන්ම ඩෙංගු මර්දන කටයුතුවල නිරත රාජ්‍ය නිලධාරීන් සහ ස්වේච්ඡා සේවකයන්ට අවශ්‍ය උපදෙස් හා තොරතුරු ලබා ගැනීම, ඩෙංගු මර්දනයට අදාළ අනෙකුත් සියලු තොරතුරු ලබා ගැනීම සහ වාර්තා කිරීම ද මෙම මෙහෙයුම් මැදිරිය හරහා සිදු කළ හැකි වේ.

ඩෙංගු වසංගතය පාලනය කිරීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය මෙහෙයවීමෙන් Clean Sri Lanka ලේකම් කාර්යාලය, සෞඛ්‍ය අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය, ත්‍රිවිධ හමුදාව හා පොලිසිය, ජනමාධ්‍ය අමාත්‍යාංශය ඒකාබද්ධව ක්‍රියාත්මක කරන වැඩසටහන පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් අද (05) පැවැත්වුණි.

දැනට වසංගතය පාලනය කිරීම සඳහා සිදු කර ඇති කාර්යයන් සහ ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත කාර්යයන් පිළිබඳව මෙහිදී අවධානය යොමුව තිබේ.

ජාතික සෞඛ්‍ය හදිසි මෙහෙයුම් මාධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක වෛද්‍ය අසංක වෙදමුල්ල මහතා, ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂතුමා, Clean Sri Lanka කාර්යාලයේ නිලධාරීන්, ත්‍රිවිධ හමුදාව සහ පොලිස් නිලධාරීන් ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියේය.

ඒ අනුව බස්නාහිර පළාතේ ඩෙංගු අධිඅවදානම් කලාප 23ක් ආවරණය වන පරිදි මෙම විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුම අද (05) සිට ක්‍රියාත්මක වේ.

කොළඹ දිස්ත්‍රික්කයේ මහරගම, කඩුවෙල, හෝමාගම, ගොතටුව, බත්තරමුල්ල, පිළියන්දල සහ කොළඹ මහනගර සභාව යන ඩෙංගු අධි අවදානම් ප්‍රදේශවල මෙම ඩෙංගු මර්දන මෙහෙයුම් සිදු කිරීමට නියමිතය.

ගම්පහ දිස්ත්‍රික්කයේ බියගම, කැලණිය, සීදුව, ජාඇල, මහර, වත්තල, මිගමුව සහ මිනුවන්ගොඩ යන ප්‍රදේශවලත් කළුතර දිස්ත්‍රික්කයේ පානදුර, බණ්ඩාරගම, හොරණ, ඉංගිරිය සහ කළුතර යන ප්‍රදේශවලත් මෙම විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුම් සිදු කරනු ඇත.

මෙම මෙහෙයුම ජනාධිපති කාර්යාලය වෙනුවෙන් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ සම්බන්ධීකරණයෙන් ක්‍රියාත්මක කෙරේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනෙහි අතිරේක ලේකම් එස්.පී.සී. සුගීශ්වර මහතා,

''විශේෂයෙන්ම ඩෙංගු සම්බන්ධයෙන් තමන්ට තියෙන තොරතුරක් හෝ රජයට දැන්විය යුතු තොරතුරක් පවතිනවා නම් තමන්ගේ ගෙදර හෝ තමන් දන්න ස්ථානයක ඩෙංගු වසංගතය වර්ධනය වන ආකාරයේ ක්‍රියාකාරකම් සිද්ධ වෙනවා කියන එක දන්නවා නම්, ඒ සඳහා තොරතුරු තියෙනවා නම්, මහජනතාවට මෙන්න මේ දුරකථන අංකයට කතා කරන්න පුළුවන්.. නිලධාරීන් සූදානම් වෙලා ඉන්නවා ඔබේ තොරතුරු ලබාගන්න. මේ ඔබ ලබාදෙන තොරතුරු සඳහා ක්‍රියාමාර්ග ගන්න මෙහෙයුම් මැදිරිය සූදානමින් ඉන්නවා. ඊට අමතරව මහජනතාවට විශේෂයෙන් දැන්විය යුතු කාරණයක් තියෙනවා.. ඔබේ නිවස, ඔබට ඔබට අයිතිය තියෙන පරිශ්‍රයන් ඒවා ඉතාම පරිස්සමෙන් ඉතාම වුවමනාවෙන් නඩත්තු කරගන්න ඩෙංගු බෝවන ආකාරයේ ක්‍රියාකාරකම්වල, ඩෙංගු කීටයන් බෝවන ආකාරයේ ක්‍රියාකාරකම්වල යෙදෙන්න එපා.. එවැනි ස්ථාන ගොඩනැගිලා තියෙනවා නම් ඒවා පිරිසිදු කරන්න. තවත් කාරණයක් කිව යුතුයි. එසේ නොකරනවා නම් ඒ සඳහා පවතින නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා මේ සියලු අංශ සූදානමින් ඉන්නවා. නීතිය ක්‍රියාත්මක කිරීමේදී කිසිඳු කෙනෙකුගේ තත්වය, තරාතිරම බලන්නේ නැහැ. අනතුරු ඇඟවීමක් හැටියට නෙවෙයි සඳහන් කරන්නේ. නීතිය ක්‍රියාත්මක කරන්න රජය ඉතා තදින් තීරණය කරලා තියෙනවා.''