කොළඹින් ඩෙංගු රෝගීන් 12,017ක් - සමස්ත මරණ ගණන 39ක් දක්වා ඉහළට
July 4, 2026 11:32 am
කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 12,000 ඉක්මවා ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
ඒ අනුව රෝගීන් 12,017ක් වාර්තා වී ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස 20.43%කි.
වසරේ මේ දක්වා ගත වූ කාල සීමාව සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 58,810ක් වාර්තා වී ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 39ක් දක්වා ඉහළ ගොස් ඇති බවද ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කර ඇත.
එමෙන්ම ගත වූ පැය 24ක කාලය තුළ පමණක් ඩෙංගු රෝගීන් 2,604ක් වාර්තා වී ඇති බව ද සඳහන්.
එසේම ජූලි මාසයේ පළමු දින තුන තුළ පමණක් රෝගීන් 3,422ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය දත්ත පෙන්වා දී ඇත.
ගතවූ මාස 7ක කාලය තුළ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ජූනි මාසයේදී වන අතර එම සංඛ්‍යාව 21,547කි.
මීට අමතරව ජනවාරි මාසයේදී රෝගීන් 7,866ක් ද, පෙබරවාරි මාසයේදී 5,721ක් ද, මාර්තු මාසයේදී 6,013ක් ද, අප්‍රේල් මාසයේදී 5,651ක් ද, මැයි මාසයේදී රෝගීන් 8,590ක් ද වාර්තා වී තිබේ.
පළාත් මට්ටමින් සලකා බැලීමේදී සමස්ත ඩෙංගු රෝගීන්ගෙන් සියයට 52.50ක්ම බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර එම රෝගීන් සංඛ්‍යාව 30,876 කි.
ඊට අමතරව දකුණු පළාතෙන් රෝගීන් 9,316ක් ද, සබරගමුව පළාතෙන් 5,129ක් ද, මධ්‍යම පළාතෙන් රෝගීන් 4,542ක් ද වාර්තා වී තිබේ.
දිස්ත්‍රික් මට්ටමින් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට වන අතර, කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 12,017ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 11,740ක් වාර්තා වී ඇත.
මාතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 4,262ක් ද, කළුතරින් 3,955ක් ද, මහනුවරින් 3,575ක් ද, රත්නපුරෙන් 3,530ක් ද, ගාල්ලෙන් රෝගීන් 3,364ක් ද වාර්තා වී ඇති බව සඳහන්.
මෙරටින් අවම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ මුලතිව් දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 35කි.
සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙන්නේ මේ වන විට ඩෙංගු දැඩි අවදානමක් සහිත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) කොට්ඨාස 142ක් හඳුනාගෙන ඇති බවය.
පවතින තත්ත්වය හමුවේ ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කර පරිසරය පිරිසිදුව තබා ගැනීමට වහා පියවර ගන්නා ලෙස ද සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් ඉල්ලා සිටී.
