වෙළඳසැලක් බිඳ ජංගම දුරකතන සොරාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට

වෙළඳසැලක් බිඳ ජංගම දුරකතන සොරාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට

July 3, 2026   04:47 pm

හොරණ, අඟුරුවාතොට මාර්ගයේ පිහිටි ජංගම දුරකතන අලෙවිසැලකට ඇතුළු වී රුපියල් ලක්ෂ 22ක පමණ වටිනාකමින් යුත් ජංගම දුරකතන සොරාගත් පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ ග්‍රෑන්පාස් ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි පුද්ගලයෙකු වේ.

අදාළ සැකකරු මීට දින 10කට පමණ පෙර ජංගම දුරකතන අලෙවි සැලේ ඉදිරිපස වීදුරුවෙහි අගුල කඩා එයට ඇතුළු වී මෙම සොරකම සිදු කර ඇත.

එමෙන්ම ඔහු එදිනම එම ප්‍රදේශයේ පිහිටි ආපන ශාලාවකට ද ඇතුළු වී දුම්වැටි, කිරි පැකට් ඇතුළු රුපියල් 66,000ක් පමණ වටිනා භාණ්ඩ තොගයක් ද සොරා ගෙන ඇති බවට අනාවරණය වී තිබේ.

ඒ අනුව පොලීසිය විසින් සිදු කළ දින 10ක පමණ විමර්ශනවලින් අනතුරුව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවද සඳහන්.

ඔහු විසින් සොරා ගත් ජංගම දුරකතන, විකිණිම සඳහා තවත් පුද්ගලයින් දෙදෙනෙකුට ලබා දී ඇති අතර එම පුද්ගලයින් දෙදෙනා ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරු 1993 වසරේ සිට 2015 වසර දක්වා ගෙවල් බිඳුම් ඇතුළු සොරකම් 15ක් සම්බන්ධයෙන් වරදකරුවෙකු වූ පුද්ගලයෙකු බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

ඔහු හෙට (04) හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර හොරණ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.