වී වේලන යන්ත්‍ර 50ක් සමුපකාර සමිතිවලට

වී වේලන යන්ත්‍ර 50ක් සමුපකාර සමිතිවලට

July 3, 2026   04:18 pm

දිනකට වී මෙට්‍රික් ටොන් 10කට ආසන්න ප්‍රමාණයක් වේලීමේ ධාරිතාවය සහිත, රුපියල් මිලියන 10ක් පමණ වටිනා නවීන තාක්ෂණික වී වේලන යන්ත්‍ර 50ක් දිවයින පුරා පිහිටි සමුපකාර සමිති වෙත ප්‍රදානය කිරීමට රජය තීරණය කර ඇත.

ඒ්‍ අනුව වඩාත් ක්‍රියාශීලී සහ ස්ථාවර මට්ටමක පවතින සමුපකාර සමිතිවල ප්‍රගතිය වෙනුවෙන් රුපියල් මිලියන 500ක විමධ්‍යගත ප්‍රතිපාදන වෙන් කිරීමට රජය පියවර ගෙන තිබේ.

නිසි ව්‍යාපෘති වාර්තාවක් ඉදිරිපත් කරමින් වී වේලන යන්ත්‍ර අවශ්‍ය සමූපකාර සමිතිවලට මේ සඳහා ඉල්ලුම් කළ හැකි බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේය. 

මේ තුළින් ගොවීන්ට තම අස්වනු සමූපකාර වෙත අළෙවි කර ඉහළ මිලක් ලබා ගැනීමටත්, සමූපකාර සාමාජිකත්වය හිමි ගොවි ජනතාවට ඉතා පහසුවෙන් අදාළ වියලන යන්ත්‍ර භාවිත කර තම අස්වනු වියලා ගැනීමටත් අවස්ථාව සැලසෙනු ඇත.

පසුගිය මහ කන්නයේදී වාර්තාගත වී අස්වැන්නක් ලැබුණු අතර, මෙම යල කන්නයේදී ද ගොවීන් විශාල වශයෙන් වී වගා කර තිබෙන බැවින් රට තුළ කිසිදු සහල් හිඟයක් ඇතිවීමට ඉඩක් නොමැති බව සඳහන්ය.

වී අලෙවි මණ්ඩලය සතු සියලු ගබඩා වහා විවෘත කරමින් සතොස සහ අනෙකුත් රාජ්‍ය ආයතන ඒකාබද්ධ කරමින් මෙම යල කන්නයේ වී අස්වනු ගොවීන්ගෙන් සාධාරණ මුදලකට මිලදී ගැනීම සදහා වන කටයුතු කඩිනම් කිරීම අරඹා තිබේ.

රජයේ වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමෙන් වෙළෙඳපොළ තුළ සාධාරණ තරගකාරීත්වයක් ඇති කර, පාරිභෝගිකයාට සහනදායි මිලකට සහල් ලබාදීමටත්, පෞද්ගලික අංශය ද ගොවීන්ට සාධාරණ මිලක් ගෙවන තත්ත්වයට පත් කිරීමටත් කටයුතු කිරීම සිය අපේක්ෂාව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේය.