මාතර නාවිමන සංස්කෘතික මධ්‍යස්ථානය ජාත්‍යන්තර සාගර විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීමට සැලසුම්
July 3, 2026 12:33 pm
අතරමඟ නතර වී ඇති මාතර නාවිමන දකුණු ආසියානු සංස්කෘතික මධ්‍යස්ථානය ජාත්‍යන්තර මට්ටමේ සාගර විශ්වවිද්‍යාලයක් ලෙස සංවර්ධනය කිරීමේ හැකියාව පිළිබඳ නව අවධානයක් යොමුව තිබේ.
වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා ඊයේ (02) එම පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වූ අතර, සාගර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය නලින් රත්නායක මහතාද ඒ සඳහා සහභාගී විය.
1998 සාර්ක් රාජ්‍ය නායක සමුළුවේදී ගත් තීරණයකට අනුව ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය 2008දී ඉදිකිරීම් ආරම්භ කළද 2015 සිට නතර වී තිබෙන අතර, දිගුකාලීන නොසලකා හැරීම හේතුවෙන් ගොඩනැගිලි හා යටිතල පහසුකම් දැඩි ලෙස හානියට පත්ව ඇති බව නිරීක්ෂණයේදී අනාවරණය විය.
කඩා වැටුණු වීදුරු පැනල්, කැලෑවෙන් වැසී ගිය ගොඩනැගිලි සහ විවිධ වත්කම් හානි එම ස්ථානයේ දැකගත හැකිවූ බවද සඳහන් වේ.
නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාව සාගරයෙන් වටවූ රටක් ලෙස සාගර ආශ්‍රිත අධ්‍යාපනය සහ වෘත්තීය පුහුණුව වඩාත් ව්‍යාප්ත කිරීම රජයේ ඉලක්කයක් බවත්, මෙම පරිශ්‍රය ඒ සඳහා ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපන මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කළ හැකි බවත්ය.
මෙම නිරීක්ෂණ චාරිකාවට අමාත්‍යාංශ නිලධාරීන්, සාගර විශ්වවිද්‍යාල නියෝජිතයන් සහ ඉංජිනේරු සංගම් නියෝජිතයන් ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ.
