සලේ මුරපද CIDයට නොදී ඉන්න හේතු 4ක් ගම්මන්පිල හෙළිකරයි
July 2, 2026 02:03 pm
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ සුරේෂ් සලේ මහතාට සිය ලැප්ටොප් පරිගණකයේ සහ ජංගම දුරකථනයේ මුරපද ලබාදෙන ලෙසට අධිකරණය ලබාදුන් නියෝගයට ගරුකරන නමුත්, එසේ නොදී සිටීම සඳහා ඔහුගේ නීතිඥයින් අභියාචනයක් සිදුකරනු ඇතැයි අපේක්ෂා කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි.
කොළඹදී පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ තමන්ට එරෙහිව පවතින විමර්ශනයකට සහාය දෙන ලෙස සැකකරුවන්ට බල කිරීමට අධිකරණයට වුවද අයිතියක් නොමැති බව සමස්ත විශ්වයම පිළිගත් මූලධර්මයක් වන බවය.
මෙම මුරපද ලබා නොදීමට බලපාන සාධාරණ හේතු හතරක් පවතින බව ද උදය ගම්මන්පිල මහතා මෙහිදී පෙන්වා දුන්නේය.
ඔහු සඳහන් කළේ ඉන් පළමු හේතුව වන්නේ අපරාධ නඩු විධාන සංග්‍රහයට අනුව සැකකරුවෙකුට තමන්ට එරෙහිව කෙරෙන විමර්ශනයකට සහය වීමට කිසිදු බැඳීමක් නොමැති බවය.
නීතියට අනුව මුරපද ලබාදෙන ලෙස කිසිවෙකුට බලපෑම් හෝ බලහත්කාරකම් කළ නොහැකි බවත් එය අයුතු බලපෑමක් වන බවත් උදය ගම්මන්පිල මහතා දෙවන හේතුව ලෙස මෙහිදී සඳහන් කර සිටියේය.
මේ වන විට අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ සිරිල් ගාමිණී පියතුමා ඇතුළු මාලිමාවේ මන්ත්‍රීවරුන් රැසක් මාධ්‍ය හරහා එවැනි අයුතු බලපෑමක් කරමින් සිටින බවද ඔහු අවධාරණය කළේය.
අදාළ ජංගම දුරකථනයේ සහ පරිගණකයේ බුද්ධි තොරතුරු සපයන්නන් පිළිබඳ අතිශය සංවේදී තොරතුරු ඇතුළත්ව තිබීම තෙවන හේතුව වශයෙන් ඒ මහතා සඳහන් කර ඇත.
බුද්ධි නිලධාරියෙකු විශ්‍රාම ගියද තොරතුරුකරුවන්ගේ අනන්‍යතාව රැඳී පවතින්නේ අදාළ නිලධාරියා සතුව පමණක් වන බවද ඔහු පැවසීය.
අවසාන හේතුව ලෙස ගම්මන්පිල මහතා පෙන්වා දුන්නේ, අතීතයේදී බුද්ධි තොරතුරු රහස් පොලිසිය අතට පත්වීමෙන් සිදු වූ විනාශයන් පිළිබඳ තිත්ත අත්දැකීම් ඉතිහාසය පුරාම පවතින බවත් 2002 වසරේදී සිදු වූ ‘මිලේනියම් සිටි’ පාවාදීම එයට උදාහරණ වන අතර එමඟින් මෙරට බුද්ධි අංශ ජාලය සම්පූර්ණයෙන්ම අඩපණ වූ බවත් ය.
මෙම කරුණු සැලකිල්ලට ගනිමින් අධිකරණ නියෝගයට ගරු කරන අතරම, ඊට එකඟ නොවන පදනම මත පිහිටා සුරේෂ් සලේ මහතාගේ නීතිඥයින් මෙම නියෝගයට එරෙහිව ඉදිරියේදී අභියාචනා කරනු ඇතැයි තමන් විශ්වාස කරන බවද උදය ගම්මන්පිල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා,
''ඊයේ දිනයේ කොටුව මහේස්ත්‍රාත් තමන්ගේ ජංගම දුරකථනයේත් පරිගණකයේත් මුරපද රහස් පොලිසියට ලබා දෙන්න කියලා සුරේෂ් සලේ මැතිතුමාට නියෝග කරලා තිබෙනවා. අපි ඒ අධිකරණ නියෝගයට ගරු කරනවා. නමුත් ඒ අධිකරණ නියෝගය සමඟ එකඟ වෙන්නේ නෑ. මොකද සමස්ත විශ්වයම පිළිගත්ත මූලධර්මයක් තමයි තමන්ට එරෙහිව පවතින විමර්ශනයකට සැකකරුවන් සහාය දෙන්නැයි බල කරන්න අධිකරණයටවත් අයිතියක් නෑ කියන එක.. මෙතෙන්දි, සුරේෂ් සලේ මැතිතුමාට තමන්ගේ මුරපද පොලිසියට ලබා නොදීමට සාධාරණ හේතු හතරක් තිබෙනවා. පළවෙනි හේතුව තමයි, අපරාධ නඩු විධාන සංග්‍රහයට අනුව සැකකරුවෙකුට තමන්ට එරෙහිව කරන විමර්ශනයට සහය දෙන්න කිසිම බැඳීමක් නෑ.
දෙවෙනි හේතුව තමයි, මුරපදය ලබාදෙන්න කියලා කවුරුහරි සුරේෂ් සලේ මැතිතුමාට බලපෑමක් කරනවා නම්, බලහත්කාරයක් කරනවා නම් එහෙම බලපෑම් කරන්න බෑ. බලහත්කාරකම් කරන්න බෑ. ඒක අයුතු බලපෑමක් වෙනවා. මේ වන විට නලින්ද ජයතිස්ස ඇමතිතුමා, සිරිල් ගාමිණී පියතුමා ඇතුළු මාලිමාවේ මන්ත්‍රීවරුන් රැසක් මාධ්‍ය හරහා ඒ අයුතු බලපෑම කරමින් ඉඳලා තියෙනවා. ඒ වගේම, මුරපද ලබා නොදෙන තුන්වන හේතුව තමයි මේ ජංගම දුරකථනයේ, ඒ වගේම පරිගණකයේ තමන්ගේ තොරතුරුකරුවන් පිළිබඳ සංවේදී තොරතුරු තිබීම. මම දැක්කා සිරිල් ගාමිණී පියතුමත් ප්‍රකාශ කරනවා ඔහු දැන් විශ්‍රාමිකයි, විශ්‍රාම ගන්නකොට බුද්ධි තොරතුරු ආයතනයට භාර දී පැමිණිය යුතුයි කියලා.. දන්න තරම තමයි. බුද්ධි තොරතුරු භාර දිය යුතුයි. හැබැයි බුද්ධි තොරතුරු දුන්නා තොරතුරුකරුවන් පිළිබඳ විස්තර තියෙන්නේ අදාළ නිලධාරියා ගාව පමණයි.
ඒවා හෙළිදරව් වීම අතිශයින්ම සංවේදීයි. තමන්ගේ ජීවිතය පරදුවට තබා සලේ මැතිතුමා මේ මුරපදය රැකගන්න හතරවෙනි හේතුව අතිශයින්ම වැදගත්. ඒ තමයි මීට පෙර බුද්ධි තොරතුරු රහස් පොලිසිය අතට පත්වීමෙන් මහා විනාශයන් වීමේ තිත්ත අත්දැකීම් අපේ ඉතිහාසය පුරා ලියවිලා තිබෙනවා. එයින් වඩාත්ම සමාජ ආන්දෝලනය ඇති කරපු කාරණය තමයි 2002 සිදුවුණු මිලේනියම් සිටි පාවාදීම ඒ මහා පාවාදීමෙන් පස්සේ අපේ බුද්ධි අංශ සීසීකඩ ගියා. ඉතින් මෙවැනි අවාසනාවන්ත තත්වයක් මත මේ කාරණා මත සුරේෂ් සලේ මැතිතුමාට තමන්ගේ මුරපද ලබා නොදීමට සාධාරණ හේතු තිබෙන බවයි අපි විශ්වාස කරන්නේ. මා හිතනවා මේ කාරණය සම්බන්ධයෙන් අධිකරණ තීන්දුවට ගරු කරමින් නමුත් අධිකරණ තීන්දුවට එකඟ නොවන නිසා සලේ මැතිතුමාගේ නීතිඥවරුන් මෙම නියෝගයට එරෙහිව අභියාචනා කරන්න කටයුතු කරාවි කියලා.''
