දිල්ලි අගනුවරට දැඩි නීති රීති මාලාවක්

දිල්ලි අගනුවරට දැඩි නීති රීති මාලාවක්

July 2, 2026   01:45 pm

සෑම වසරකම ශීත ඍතුවේදී ලොව දූෂිතම වායුව සහිත නගරය බවට පත්වන ඉන්දියාවේ දිල්ලි අගනුවරට, වායු දූෂණය මර්ධනය කිරීම සඳහා විශේෂ ස්ථිර සීමා මාලාවක් ප්‍රකාශයට පත් කර තිබේ.

පසුගිය වසර තුනක රාජ්‍ය දත්තවලට අනුව, සෑම වසරකම නොවැම්බර් 01 වනදා සිට පෙබරවාරි 15 වනදා දක්වා දිල්ලි නගරයේ වායු ගුණාත්මක දර්ශකය 312 ත් 342 ත් අතර අගයකට බිඳ වැටේ.

සාමාන්‍යයෙන් වායු ගුණාත්මක දර්ශකයේ අගය 0-50 ත් අතර පැවතීම සෞඛ්‍යයට හිතකර "යහපත්" මට්ටමක් ලෙස සැලකේ.

මීට පෙර බලධාරීන් මෙවැනි සීමා පැනවූයේ වායු දූෂණය යම් මට්ටමකට වඩා ඉහළ ගියහොත් පමණි.

නමුත්  අද (01) දින ප්‍රකාශයට පත් කළ නව රීතීන්ට අනුව, වායු ගුණාත්මක දර්ශකයේ අගය කුමන මට්ටමක පැවතියද, නොවැම්බර් 01 වනදා සිට පෙබරවාරි 28 වනදා දක්වා කාලය තුළ මෙම සීමාවන් අඛණ්ඩව ක්‍රියාත්මක වේ.

පෞද්ගලික වාහන භාවිතය අවම කරනු පිණිස වාහන නැවැත්වීමේ ගාස්තු දෙගුණ කිරීමට පියවර ගෙන ඇත.

දිල්ලි නගරයේ සියලුම රාජ්‍ය කාර්යාල ආරම්භ වන සහ අවසන් වන වේලාවන් එකිනෙකට වෙනස් වේලාවන් ලෙස සකස් කර ඇත.

අත්‍යවශ්‍ය පොදු යටිතල පහසුකම් ව්‍යාපෘති හැර, අනෙකුත් සියලුම එළිමහන් සිවිල් ඉදිකිරීම් කටයුතු සම්පූර්ණයෙන්ම තහනම් වේ.

නිවසේ සිට වැඩ කිරීම නොවැම්බර් 01 සිට ජනවාරි 31 දක්වා කාලය තුළ සියලුම රාජ්‍ය හා පෞද්ගලික කාර්යාලවල සේවක මණ්ඩලයෙන් 50%ක් අනිවාර්යයෙන්ම නිවසේ සිට සේවය කළ යුතු අතර, ඉතිරි 50% පමණක් කාර්යාල වෙත කැඳවිය හැකිය.

මෙම නීති උල්ලංඝනය කරන පුද්ගලයන්ට සහ ආයතනවලට එරෙහිව දැඩි නීතිමය පියවර මෙන්ම නඩු පැවරීම් සිදු කරන බව රජය අවධාරණය කරයි.

මීට අමතරව, වාහනවලින් පිටවන දුමාරය අවම කිරීමේ අරමුණින්, තමන් සතු පැරණි වාහන ඉවත් කර නව විද්‍යුත් වාහන මිලදී ගැනීමට කැමැත්ත පළ කරන වාහන හිමියන් සඳහා අමෙරිකානු ඩොලර් 1,000කට වැඩි  මූල්‍ය දිරිගැන්වීමක් ලබා දීමටද දිල්ලි රජය මේ සතියේදී තීරණය කර ඇත.