මාලබේ දන්සල අසලදී තරුණයෙකුට පහරදුන් 5ක් අත්අඩංගුවට

මාලබේ දන්සල අසලදී තරුණයෙකුට පහරදුන් 5ක් අත්අඩංගුවට

July 1, 2026   09:17 pm

පොසොන් පොහොය දිනයේ (29) මාලබේ නගරයේ පැවති බත් දන්සලක් අසලදී තරුණයෙකුට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පස්දෙනෙකු මාලබේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස සංසරණය වූ වීඩියෝවක් පාදක කරගනිමින්, ඊයේ (30) පොලීසියට ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකළ කඩිනම් විමර්ශනවලින් පසු මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ දන්සලේ ආහාර ගැනීම සඳහා පෝලිමේ සිටි පිරිසක් මඟහැර, පුද්ගලයන් දෙදෙනෙකු පිටතින් පෝලිමට ඇතුළු වීමට උත්සාහ කර ඇති බවය.

එහිදී පෝලිමේ සිටි තරුණයෙකු ඊට විරෝධය දැක්වීම හේතුවෙන් උරණ වූ පිරිස, අදාළ තරුණයාට අතින් පයින් සහ ආරක්ෂක හිස්වැසුම් වලින් දරුණු ලෙස පහර දී තිබේ.

සැකකරුවන් අවුරුදු 16 සහ 17 පසුවන පසුවන කඩුවෙල ප්‍රදේශයේ පදිංචි තරුණයින් පිරිසකි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පස්දෙනා අද (01)  කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.

මෙම සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් පිරිසක් සිටින බවට හඳුනාගෙන ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා මාලබේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.