චිත්‍රපට සංචාරක ක්ෂේත්රය සඳහා Single Window අනුමැති යාන්ත්‍රණයක්
July 1, 2026 06:42 pm
ශ්‍රී ලංකාවේ දී රූගත කෙරෙන විදේශ චිත්‍රපට, වාර්තා වැඩසටහන්, වෙළෙඳ දැන්වීම්, ගීත හා වෙනත් වැඩසටහන් නිෂ්පාදනය සඳහා අනුමැතිය අපේක්ෂා කරන අයදුම්කරුවන්ට රාජ්‍ය ආයතන කිහිපයකින් අවසර ලබාගැනීමට සිදුවන බවත්, එම හේතුවෙන් අනුමැති ලබාගැනීමේ ක්‍රියාවලිය දීර්ඝ හා ප්‍රමාදිත එකක් බවට පත්ව ඇති බවත් අනාවරණය වී තිබේ..
එබැවින්, Single Window අනුමැති යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට යෝජනා කර ඇත.
මෙරට චිත්‍රපට සංචාරක ක්ෂේත්රය සඳහා Single Window අනුමැති යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම පිළිබඳ අදාළ පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (30) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
එහිදී මේ බව සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
Single Window අනුමැති යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකා රැස්වීමේ දී ගනු ලැබූ තීරණයකි.
යෝජිත යාන්ත්‍රණය පිළිබඳ පොදු එකඟතාවකට පැමිණීම, එය ක්‍රියාත්මක කිරීමේදී මතුවියහැකි අභියෝග හඳුනාගෙන ඒවාට පිළියම් යෙදීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග තීරණය කිරීම සහ ක්‍රියාත්මක කිරීමේ කාලරාමුව සම්බන්ධයෙන් ද මෙහිදී පුළුල් අවධානය යොමු කර ඇත.
මෙම Single Window අනුමැති යාන්ත්‍රණය සාර්ථකව ක්‍රියාත්මක කිරීම මඟින් ශ්‍රී ලංකාව ගෝලීය වශයෙන් චිත්‍රපට හා අනෙකුත් රූගත කිරීම් සඳහා වඩාත් සුදුසුම ගමනාන්තයක් ලෙස ස්ථාපිත කිරීමත්, චිත්‍රපට කර්මාන්තයේ තරගකාරීත්වය ඉහළ නැංවීමත් අපේක්ෂා කෙරේ.
