පාකිස්තානයේ උපකාරක පන්තියක වහලය කඩා වැටී දරුවන් 14ක් මරුට
July 1, 2026 07:10 am
පාකිස්තානයේ, ලාහෝර් නගරයට ආසන්න කාහ්නා ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික උපකාරක පන්ති මධ්‍යස්ථානයක වහලයක් කඩා වැටීමෙන් දරුවන් 14 දෙනෙකු මියගොස් තිබේ.
මියගිය දරුවන් බහුතරයක් වයස අවුරුදු 7ත් - 11ත් අතර පසුවෙන අතර, තුවාල ලැබූ දරුවන් අතර අවුරුදු 10ට අඩු දරුවන්ද සිටී.
වහල කඩා වැටීම සම්බන්ධයෙන් බලධාරීන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, මූලික විමර්ශන අනුව පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ප්‍රදේශවාසීන් පවසන්නේ, ගොඩනැගිල්ලේ වහලය දුර්වල තත්ත්වයේ තිබූ අතර, දරුවන් අධ්‍යයනය කරමින් සිටියදීම වහලයේ අලුත්වැඩියා කටයුතු සිදුකර ඇති බවය.
වහලය මත තැබූ අධික බර හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවද ඔවුන් සඳහන් කරයි. කෙසේ වෙතත්, මෙය තවමත් නිල වශයෙන් තහවුරු කර නොමැති අතර, විමර්ශන අවසන් වූ පසු නිශ්චිත හේතුව ප්‍රකාශ කිරීමට නියමිතය.
පාකිස්තාන අගමැති Shehbaz Sharif මියගිය දරුවන් වෙනුවෙන් ශෝකය පළ කරමින් තුවාල ලැබූවන්ට අවශ්‍ය සියලු වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන ලෙසට බලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.
පන්ජාබයේ මහ ඇමතිනී මරියම් නවාස් ෂරීෆ් පවසා ඇත්තේ මෙය හද කම්පා කරන ඛේදවාචකයක් බවත් වගකිව යුතු සියලුදෙනාට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවත්ය.
