header logo
SLIC
සයුරෙන් එතෙර
ට්‍රම්ප්ගේ තීරණයක් එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණය අවලංගු කරයි
Jun 30, 202610:14 PM
ට්‍රම්ප්ගේ තීරණයක් එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණය අවලංගු කරයි
EDEX

එක්සත් ජනපදයට සංක්‍රමණය වී ඇති පුද්ගලයින්ට දාව උපදින දරුවන්ට උපතේදී අමෙරිකානු පුරවැසිභාවය ලැබෙන නීතිය සීමා කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවලංගු කර තිබේ.

විනිසුරුවන් 9 දෙනෙකුගෙන් සමන්විත වූ මෙම විනිසුරු මඩුල්ලේදී ට්‍රම්ප්ගේ නියෝගයට පක්ෂව විනිසුරුවන් තිදෙනෙකුත් විරුද්ධව විනිසුරුවන් 6 දෙනෙකු ද තීන්දුව ලබා දී තිබේ.

එම තීන්දුව අනුව එක්සත් ජනපදයේ උපත ලබන ළදරුවන්ට ලැබෙන අමෙරිකානු පුරවැසිභාවය ලබා දීමේ වසර 150ක් පැරණි පූර්වාදර්ශය ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කර ඇත.

නීතිවිරෝධී ලෙස හෝ තාවකාලික වීසා මත රට තුළ සිටින දෙමව්පියන්ට උපදින ළදරුවන්ට ලැබෙන පුරවැසිභාවය අවසන් කිරීමට ට්‍රම්ප් මීට පෙර නියෝගයක් නිකුත් කර තිබුණි.

ට්‍රම්ප් මෙම නියෝගය ගනු ලැබුවේ ඔහුගේ දෙවැනි ධුර කාලය ආරම්භ කරන පළමු දිනය වූ පසුගිය වසරේ ජනවාරි 20දාය.

කෙසේ නමුත් ට්‍රම්ප්ගේ මෙම තීරණයට එරෙහිව අමෙරිකානු සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන විරෝධය පළ කළ අතර ඒ අනුව ඔවුන් මේ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු ගණනාවක් ගොනු කරනු ලැබීය.

ඒ අනුව විභාග වූ මෙම නඩුවේ අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් කළේ ට්‍රම්ප් විසින් ගත් මෙම නියෝගය අවලංගු කරන බවය.

ඒ අනුව සංක්‍රමණිකයින් දාව උපත ලබන දරුවන්ට අමෙරිකානු පුරවැසිභාවය ක්‍රමවේදය එලැසින්ම ඉදිරියටත් පවතිනු ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් මෙම නියෝගය නිසැකවම අමෙරිකානු ජනාධිපතිවරයා කළකිරීමට පත් කරනු ඇති බවය.

ඒ අනුව ඔහු නීත්‍යානුකූල නොවන ආකාරයට අමෙරිකාවට සංක්‍රමණය වන සංක්‍රමණිකයින් සීමා කිරීමට ඔහු පියවර ගනු ඇතැයිද අපේක්ෂා කර ඇති නමුත් මෙම සිදුවීම් හෝ නියෝගය පිළිබඳව අමෙරිකානු ජනාධිපතිවරයා මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැත.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
Lassana Flora
Spotlight