ශ්‍රී ලංකාව WTC ප්‍රසාද ලකුණු සටහනේ පහළට
June 29, 2026 03:51 pm
බටහිර ඉන්දීය කොදෙව්වන් හමුවේ පළමු ටෙස්ට් තරගයේ ලැබූ දැවැන්ත පරාජයත් සමඟ ශ්‍රී ලංකාව අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ ස්ථාන දෙකකින් පහළ බැස තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකාව සිව්වැනි ස්ථානයේ සිට හයවැනි ස්ථානය දක්වා පහත වැටී ඇති අතර, ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමට මේ වනවිට හිමිව ඇත්තේ ප්‍රතිශත ලකුණු 44.44කි.
ඇන්ටිගුවාහි සර් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගණයේ පැවති පළමු ටෙස්ට් තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ශ්‍රී ලංකාව ඉනිමකින් සහ ලකුණු 217කින් පරාජය කිරීමට සමත් විය.
පළමු ඉනිමේදී ශ්‍රී ලංකාව ලබාගත් ලකුණු 308ට පිළිතුරු ලෙස කොදෙව්වන් ලකුණු 629/9ක් රැස් කළ අතර, දෙවැනි ඉනිමේදී ශ්‍රී ලංකා පිතිකරුවන් ලකුණු 101කට දැවී යාමත් සමඟ තරගය පහසුවෙන් ජය ගැනීමට ඔවුහු සමත් වූහ.
ශ්‍රී ලංකාව පහළ බැසීමත් සමඟ බංග්ලාදේශය සහ ඉන්දියාව පිළිවෙළින් සිව්වැනි සහ පස්වැනි ස්ථාන දක්වා ඉහළ ගොස් තිබේ.
තරග 8කදී ජයග්‍රහණ 7ක් සහ පරාජයක් සමඟ ඔස්ට්‍රේලියාව WTC ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන අතර, දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය දෙවැනි හා තෙවැනි ස්ථානවල සිටී.
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර දෙවැනි හා අවසන් ටෙස්ට් තරගය ජූලි 3 වනදා ආරම්භ වීමට නියමිතය.
