වෙනිසුවෙලාවට පනවා ඇති ඒකපාර්ශ්වික සම්බාධක වහාම ඉවත් කරන ලෙස චීනයෙන් ඉල්ලීමක්

වෙනිසුවෙලාවට පනවා ඇති ඒකපාර්ශ්වික සම්බාධක වහාම ඉවත් කරන ලෙස චීනයෙන් ඉල්ලීමක්

June 29, 2026   09:21 am

ලොව ඇතැම් රටවල් වෙනිසුවෙලාව වෙත පනවා ඇති ඒකපාර්ශ්වික සම්බාධක එරට ආර්ථික හා සමාජීය සංවර්ධනයට මෙන්ම ජනතාවගේ ජීවනෝපායන් වැඩිදියුණු කිරීමේ උත්සාහයන්ට දැඩි ලෙස බාධා කර ඇති බව චීනය පවසයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 62 වන සැසිවාරයට සමගාමීව පසුගියදා පැවති රැස්වීමක් අමතමින් ජිනීවාහි චීන නියෝජිත පිරිසේ අමාත්‍ය-උපදේශක Mu Jianfeng මහතා මේ බව පැවසීය.

අසාධාරණ ඒකපාර්ශ්වික සම්බාධක වෙනිසුවෙලානු ජනතාවගේ මූලික මානව හිමිකම්වලට බරපතල ලෙස බලපා ඇති බැවින් ඒවා වහාම ඉවත් කළ යුතු බවත් ඔහු එහිදී අවධාරණය කළේය.

පසුගියදා වෙනිසුවෙලාව වෙත බලපෑ ප්‍රබල භූකම්පනයෙන් පසු චීනය එරට රජයට සහ විපතට පත් ජනතාවට සහාය වෙමින් හදිසි මානුෂීය ආධාර ලබා දෙමින් සිටින බවත්, ඔවුන්ට මෙම ව්‍යසනය ජයගෙන හැකි ඉක්මනින් තම ජීවිත යළි ගොඩනඟා ගැනීමට හැකි වනු ඇතැයි විශ්වාස කරන බවත් චීනය පවසයි.

කෙසේවෙතත් ඇතැම් රටවල් වෙනිසුවෙලාව වෙත පනවා ඇති ඒකපාර්ශ්වික සම්බාධක හේතුවෙන් එරට ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම දුෂ්කර වී ඇති බව Mu Jianfeng මහතා පෙන්වා දී ඇත.

මේ අතර වෙනිසුවෙලානු බලධාරීන් ඊයේ (28) ප්‍රකාශ කළේ එරට භූකම්පනයෙන් මියගිය සංඛ්‍යාව මේ වනවිට 1450ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.