සූක්ෂමව මෙරටට ගෙනා රු. කෝටි ගණනක මත්ද්‍රව්‍ය තොගයක් සමඟ 5ක් දැලේ

සූක්ෂමව මෙරටට ගෙනා රු. කෝටි ගණනක මත්ද්‍රව්‍ය තොගයක් සමඟ 5ක් දැලේ

June 28, 2026   04:07 pm

රුපියල් හත් කෝටි විසි දෙලක්ෂයක් වටිනා හෂීෂ් සහ කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත්, ඒවා කටුනායක ගුවන්තොටුපොළෙන් පිටකරගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගීන් 05 දෙනෙකු අද(28) අලුයම තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කෑගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඒ අතර කාන්තාවක්ද සිටින බව සඳහන් වෙයි.

ඔවුන් අද අලුයම 04.30ට තායිලන්තයේ බැංකොක් නුවර සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.

එහිදී ඔවුන් විසින් නවතම උපක්‍රමයක් භාවිතා කරමින්, මෙම හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 06 ග්‍රෑම් 110ක ප්‍රමාණය සහ කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 11 ග්‍රෑම් 062ක ප්‍රමාණය, වීදුරු බෝතල් 15ක් තුළ අසුරා, ඒවා කටුනායක ගුවන්තොටුපොළෙන් නිකුත් කෙරෙන, ශ්‍රී ලංකා තීරුබදු රහිත සාප්පු සංකීර්ණයේ මුද්‍රිත නම සඳහන් පොලිතීන් බෑග් තුළ අසුරා රැගෙනවිත් තිබුණි .

සැකකරුවන් පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා, මීගමුව මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.