මත්පැන් බෝතලේ ස්ටිකර් එක ගැන අලුත් අනාවරණයක්
June 28, 2026 07:38 am
මත්පැන් බෝතල් මත අලවනු ලබන ආරක්ෂිත ස්ටිකරය මුද්‍රණය සඳහා දරනු ලබන වියදම එය ඩිජිටල් ලෙස මුද්‍රණය කළ ද අඩුවී නොමැති බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වී තිබේ.
එම ආරක්ෂිත ස්ටිකරය මෙරට නිෂ්පාදනය වන මත්පැන් සහ බීර සමාගම් දෙකක බෝතල් සඳහා ඇලවීමට නොහැකි වීම හේතුවෙන් එය බෝතලයේ ඩිජිටල් මුද්‍රණයක් ලෙස සිදුකරන බවද එහිදී අනාවරණය වී තිබුණි.
කමිටුවේ සභාපති හර්ෂ ද සිල්වා,
"දැන් මේ ස්ටිකර් එකේ ප්රශ්නය. ප්‍රඩක්ෂන් එක කොහොමද ? කොච්චර හොරට විකිණෙනවාද කියන එකනේ අපි ප්‍රශ්න කරන්නේ."
නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් එම්. ජයන්ත සිල්වා,
"ස්ටිකර් වැඩේ පටන් ගත්තේ 2022 වසරේ. 2027 ජනවාරි 2න් පස්සේ දැනට තියෙන ආයතනයේ ගිවිසුම අවසන් වෙනවා. අලුත් ටෙන්ඩරයක් දාන්න කටයුතු කරගෙන යනවා. ඒගොල්ලෝ ස්ටිකර් මුද්‍රණය කරලා දෙන්න ඕනේ. ස්ටිකර් ඇලවීම කරන්නේ මත්පැන් නිෂ්පාදකයා. ස්ටිකර් 1000කට ඩොලර් 5.99ක් ගෙවනවා. වරාය ගාස්තු සහ තීරුබදු ගාස්තු එක්ක ඔක්කොම ඩොලර් 7.99ක්. දේශීය සමාගම් දෙකෙන් එකක නිෂ්පාදන වේගවත් නිසාත් අනෙක් සමාගමේ සිසිල් කරලා ගන්න නිසා වතුර තියෙන නිසා කඩදාසි ස්ටිකර් එක අලවන්න බැහැ. ඒ නිසා ඒ සමාගම් දෙකට ඩිජිටල් ස්ටිකර් එකක් ගහලා තියෙනවා. 80%කට වඩා තියෙන්නේ ඩිජිටල්. අලවන්නේ නැහැ. ඩිජිටල් වදින්නේ."
කමිටුවේ සභාපති හර්ෂ ද සිල්වා,
"ඩිජිටල් වදිනකොට ඒකට කීයක් ගන්නවාද ?"
නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් එම්. ජයන්ත සිල්වා,
"ඒකටත් සර් ඩොලර් 7.99ක්."
කමිටුවේ සභාපති හර්ෂ ද සිල්වා,
"ඈ..ස්ටිකර් එකක් නෑනේ. මං අහන්නේ ඩොලර් 5.99ක් කිව්වා කොස්ට් එක කඩදාසියෙන් ගහන්න. මේකට 5.99ක් යන්නෑ නේ. ඩිජිටල් එකේදී ඇලවීමක් වෙන්නේ නෑ නේ. කොළයෙන් ඩිජිටල් ප්‍රින්ට් එකට යනකොට කොස්ට් එක 80% විතර අඩු වෙන්න ඇති නේ. 5.99ක මුදලක් ගෙවන්නේ ඇයි ?."
නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් එම්. ජයන්ත සිල්වා,
"ටෙන්ඩර් එකේ දීලා තියෙන්නේ ඒ ගාන සර්."
ඒ අනුව එහි වියදම අඩු වුවද ස්ටිකරය මුද්‍රණය සඳහා යන වියදම අදාළ සමාගමට ලබාදී ඇති බව නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් එම්. ජයන්ත සිල්වා මහතා පැවසීය.
